පොළොන්නරුව දිස්ත්‍රික්කය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් විවෘත ටෙන්ඩර් පටිපාටියකින් තොරව චීන සමාගම්වලට ලබාදීමෙන් ‘යහපාලන“ පොරොන්දු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට හෝ හවුල් ආණ්ඩුවට තවදුරටත් අදාළ නැති බව හෙළිදරව් වී තිබේ.
ජනාධිපතිවරයා යටතේ ක්‍රියාත්මක වන ‘පිබිදෙමු පොළාන්නරුව‘(Awakening of Polonnaruwa) නමැති දීර්ඝකාලීන සංවර්ධන සැලැස්මක් යටතේ මෙම ව්‍යාපෘති ආරම්භ කර ඇත. මේ අනුව, පොළොන්නරුව ආශ්‍රිත ජලසම්පාදන ව්‍යාපෘතියක්, නව දුම්රිය මාර්ග පද්ධති ඉදිකිරීම් ව්‍යාපෘතියක්, කෘෂි ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපෘතියක සහ මාදුරුඔය බටහිර ඉවුර සංවර්ධන ව්‍යාපෘතිය ඉදිකිරීම් මෙසේ චීන සමාගම්වලට පැවරීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබේ. චීන – ලංකා රජයන් අතර ගිවිසුම් අත්සන් කරමින් චීනයේ එක්සිම් බැංකුවේ මුල්‍ය පහසුකම් සහිතව මෙම ව්‍යාපෘති මෙහෙයවන්නට අවබෝධතා ගිවිසුම් පසුගිය අප්‍රේල් මසදී අත්සන් කර තිබේ. මෙම ව්‍යාපෘති සියල්ල ජනාධිපතිවරයා සහ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින්ගේ වගකීමට යටත් කර ඇත. මේ ක්‍රියාත්මක වන්නේ 2015 ඔක්තෝබර් 17 අරලගංවිල, විලයාය මධ්‍ය මහ විදුහලේ සිට ජනාධිපතිවරයා ආරම්භ කළ ‘පිබිදෙමු පොළාන්නරුව‘ ව්‍යාපෘති වැඩසටහනය. මේ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ‘හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති‘වලට සමාන ‘පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘති‘ මෛත්‍රීපාල ජනාධිපතිගෙන් ලාංකිකයන්ට හිමිව ඇත.
මේ යටතේ ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය යටතේ ‘පොලොන්නරුව නැගෙනහිර නගර ජලසම්පාදන ව්‍යාපෘතිය‘ සදහා පසුගිය වසරේ දැන්විම් ප්‍රසිද්ධ කර තිබුණු ටෙන්ඩර් කැදවීම හදිසියේ අවලංගු කර තිබේ. ඒ සදහා ටෙන්ඩරයක් ඉදිරිපත් කළ China Harbour Engineering Company නමැති චීන සමාගමට ලබාදෙන්නටත් ව්‍යාපෘතිය ජනාධිපති කාර්යාලය යටතේ ක්‍රියාත්මක කරන්නටත් තීරණය කර ඇත. අමෙරිකන් ඩොලර් මිලියන 400ක් පමණ අගයක් සහිත මෙම ව්‍යාපෘතිය සදහා ටෙන්ඩර් ලබා දුන් ලංකාව, චීනය, ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවක සමාගම් 24ක ටෙන්ඩර් නව තීරණය නිසා අවලංගු කෙරෙනු ඇත. එසේම ටෙන්ඩරය ඉදිරිපත් කිරීම සදහා එම සමාගම් විසින් ගෙවූ නැවත නොගෙවන රුපියල් ලක්ෂයක තැන්පතු මුදලද ඔවුන්ට අහිමි කෙරෙනු ඇත. වත්මන් ආණ්ඩුව යටතේ කෙළඹ වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරිම් අත්හිටවූ කාලසීමාව සදහා මෙම සමාගමට සිදුව ඇති අලාභ ලෙස අමෙරිකන් ඩොලර් මිලියන 125 ගෙවීමට නියමිත විය. එහෙත් එම අලාභය රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ගෙවීම වෙනුවට වෙනත් ව්‍යාපෘති ලබාදීමට හවුල් ආණ්ඩුව තීරණය කර ඇති බව පෙනෙන්නට තිබේ.
එසේම කුරුණෑගල, දඹුල්ල, හබරණ නගර අතර නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සදහා ගෙන ඇති තීරණයද ක්‍රියාත්මක වන්නේ ජනාධිපති කාර්යාලයේ ව්‍යාපෘතියක් ලෙසිනි. මේ ආකාරයට මහජන මුදල් හා මහජන මුදලින් ගෙවන ණය ව්‍යාපෘති විනිවිදභාවයකින් යුතුව ක්‍රියාත්මක කරන බවටත් ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කරන බවටත් කළ ප්‍රකාශ ගල් පැළෙන බේගල් බව රනිල්-මෛත්‍රී හවුල් ආණඩුව විසින් ක්‍රියාවෙන් ඔප්පු කර තිබේ.
