2014 ඔක්තෝබර් 29 වැනි දා සිදුවීමක් මුළු දිවයිනම කම්පා කරවීය. දවස ගෙවීයාමට පෙර දිවයින පුරා සෑම මාධ්‍ය නාළිකාවක මෙන්ම ජාතික පුවත්පත්වල ප‍්‍රධාන ප‍්‍රවෘත්තිය වූයේ ‘මීරියබැද්ද නායයෑම’යි. පණපිටින් වැළලී ගිය කුඩා දරු දැරියන් ගැන, වැඩිහිටියන් ගැන අනුවේදනීය කතා කියැවිණි, ලියැවිණි.
ඉන්පසුව සති ගණන්, මාස ගණන් පත්තර පිටු මාධ්‍ය වාර්තා, වැඩසටහන්, වැහි වහින්නට විය. පත්තර උණු කැවුම් මෙන් විකිණීමට මේ පුවත දායක විය. නේකවිද සත්කාරක ජනී ජනයා එහි ඇදෙන්නට විය. බොහෝ හදවත් කැලඹු මේ ඛේදවාචකයට දැන් වසරක් පිරී ඇත.
අතීතයේ සිදු වුණ බොහෝ ඛේදවාචක, කාලයේ වැලිතලාවලට සැඟව යාම ස්වභාවික කි‍්‍රයාවලියක් ලෙස භාර ගත හැකිද? මිනිස් වර්ගයාට පැමිණෙන විපත් සියල්ල සොබාදහමට, කර්මයට, පව්කාරකමට සිදුවන දේ යැයි පැවසිය හැකිද? ඊට පූර්ව වූ මිනිස් කි‍්‍රයාදාමයෙහි හේතු ඉවත් නොකිරීම නිසා, එයට අදාළ කි‍්‍රයාමාර්ග නොගත් නිසා එදා ජීවිත රැුසක් පස් යට වැළලී ගියහ.
කඳුකර බෑවුම්වල ජීවත්වන ඔවුන්ගේ ප‍්‍රශ්නයට තවමත් විසඳුම් ලබා දී නැත. ඒ වෙනුවට කිඹුල් කඳුළු හෙළමින් තම පැවැත්ම උදෙසා කි‍්‍රයාත්මක වන පාලකයන්ගේ වංචනික මැදිහත් වීම් පමණක් ඉදිරියට පැමිණ ඇත. සත්‍ය ලෙසම තේ යායක් පෝෂණය කළ වතු කම්කරු ජනයාගේ දහදිය මෙන්ම කඳුළු පිරි යටගියාව වළලා දමා තිබේ.
එදාමෙදා තෙක් වත්තේ ජීවිත හා බැඳී දුක් කන්දරාව අද වන විට රුපියල් මිලියන ගණන් බවට පත් වී තිබේ. හෙට දිනටත් එය එසේමය.
මීරියබැද්දේ අවතැන් වූවන් ඉල්ලීම් 05ක් පදනම් කරගෙන වීදියට පැමිණියේ 2014 දෙසැම්බර් 7වැනි දාය. එදා ඔවුන්ගේ පළමු ඉල්ලීම වූයේ නිවසක් සෑදීමට ප‍්‍රමාණවත් පිරිසිදු ඔප්පු සහිත පර්චස් 20ක ඉඩම් කොටසක් එක් පවුලකට ලබා දිය යුතු බවයි.
එමෙන්ම ලයින් ක‍්‍රමය අහෝසි කළ යුතු අතර, ඔවුන්ට නිදහසේ ජීවත් විය හැකි තනි නිවෙස් ලබා දිය යුතු බවයි. ඒ ඔවුන්ගේ අරගලයයි. 2014 ඔක්තෝබර් 29 අවතැන් වූ ඔවුන්ගේ ඉවසීමේ සීමාවන් එදා ඉක්ම ගොස් තිබුණි. 2014 දෙසැම්බර් 7 වැනි දා මහ පාරට පැමිණීමට තරම් ආවේගයක් පීඩනයක් තිබූ ඔවුන්ගේ ප‍්‍රශ්නයට සැබෑ විසඳුමක් මේ වන විටත් ලබා දී නැත.
ඒ වෙනුවට යහපාලන රජයේ අගමැති රනිල් වික‍්‍රමසිංහ වතු කම්කරු පවුල්වලට ව්‍යාජ ඔප්පු 20,000ක් බෙදා දී තිබුණි.
එහෙත් සැබෑ නිවාස ප‍්‍රශ්නයට පිළිතුරු නැති මීරියබැද්දේ ජනතාව තවමත් 8X6 කුඩා කාමරවල දුක් විඳිමින් සිටී. එනම්, 2015 මැයි 20 දිනැති ‘භුක්තිය භාර දීමේ ප‍්‍රධාන පත‍්‍රය හෙවත් හරිත භූමි’ නම් වූ ඊනියා ඔප්පු ප‍්‍රදානය කරන ලද්දේ ශී‍්‍ර ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාවයි. පර්චස් 20ක් වෙනුවට ඒ තාවකාලික ලේඛනයෙන්ද ලබා දී තිබුණේ පර්චස් 7කි. ඒ ලියැවිල්ලේ යටගියාව සමාජයට නොසඟවා කියන්නට මීරියබැද්දේ ජනතාව ඉදිරිපත් වූහ.
එදා විපතින් අවතැන් වූ පවුල් 94ක් අද වන තෙක්ම අම්පිටිකන්ද තේ කර්මාන්තශාලාවේ කුඩා කාමරවල ජීවත් වෙති. අවතැන්ව සිටිමින් තමන් ගෙවන ජීවිතය පිළිබඳ කලයිමගල් මහත්මිය අපට කීවාය.
”දැන් ටොයිලට් ආයෙත් පිරිලා. ඉන්න හිටින්න බෑ. මිනිස්සුන්ට ලෙඩ, අඩි 8X6 කාමරයේ පවුලේ ඔක්කොම ඉන්න ඕන. කෑමට එක් කෙනකුට රු.700/-ක් දෙනවා. 6ක්, 7ක් ඉන්න පවුලකට රු.1500/-ක් දෙනවා. තාම අපේ ප‍්‍රශ්නයට විසඳුමක් ලැබුණේ නැහැ. දැනට හදලා තියෙන්නේ ගෙවල් 4යි. ඒකත් වැඩ අවසන් කරලා භාර දීලා නැහැ. අනිත් ඒවා බාගෙට හදලා තියෙන්නේ. අපිට මේ ගෙවල් හදලා දෙයි කියන එක ගැන විශ්වාසයක් නැහැ.
අපි පලනි දිගම්බරම් මන්තී‍්‍රතුමා ළඟට ගියා. එයා කීවේ මේ ගෙවල් ප‍්‍රශ්නය එයාලට අදාළ නෑ කියලා. ආපදා කළමනාකරණ එකට තමයි මේ ගෙවල් හදන්න භාර දීලා තියෙන්නේ. එයාලා පමා වන එකට කරන්න දෙයක් නැහැ’ කියලයි. වතුවල වැඩ කරලා එදා මැරුණු අයට පෙට්ටි සල්ලි කියලා රු.2000/-ක් දෙන්න ඕන. ඒක තාම ලැබුණේ නැහැ. හැම කෙනාටම හරිනම් රු.2000/- ලැබෙන්නේ ඕන. සාමාන්‍ය නීතිය ඒක වුණාට ඒ මුදල දෙන්න බැහැ කියනවා. ‘අතුරුදහන් වී ඇති බැවින් මිය ගිය බව විශ්වාස කරමි’ කියලා මරණ සහතිකේ තියෙන නිසා මේක දෙන්න බැහැ කියනවා.
වතු කම්කරු දෙපාර්තමේන්තුව වගකීම භාර ගන්නෙත් නැහැ. අවමංගල කටයුත්තකදී දෙන පොරොන්දුව යටතේ මාස් පතා පඩි වලින් රු.100/- ක් කපා ගන්නවා. එහෙත් මේ අය මැරුණට පස්සේ ඒ රු.5000/- වත් ලැබුණේ නැහැ. අපි පැමිණිල්ලක් කළා. එහෙත් වතු කම්කරු කාර්යාලයේ නිලධාරීන් අපි ගියාම ඒක මඟ හරිනවා. ඒ විතරක් නොවේ එකම කාමරය ඇතුළේ ළමයි, දෙමව්පියෝ, සීයලා, ආච්චිලා හැමෝටම ඉන්න වෙලා තියෙනවා. මේ පරිසරයත් හොඳ නැහැ.
අපි වත්තට අයිති මිනිස්සු නිසාද මන්තී‍්‍ර කෙනෙක්වත් මේ ගැන උනන්දු වෙන්නේ නැත්තේ. දැන් අවුරුද්දක් තිස්සේ මේ කාමරවල දුක් විඳිනවා. ඡුන්දෙන් පස්සෙම කවුරුත් ඇවිත් බැලූවේ නැහැ. කලින් නාය ගිය වෙලාවේ එළුවෝ, කුකුලෝ හිටපු අයට ඒවා දෙනවා කීවා. ඒ මොනවත් ලැබුණේ නැහැ”
මේ ප‍්‍රශ්නය නිසා තමන් දැඩි අපහසුතාවට පත්වී ඇති බව අප සමඟ කීවේ කුමරේෂන්ය. ”මාස 3න් 4න් ගෙවල් හදලා දෙනවා කීවා. දැන් අවුරුද්දක් වෙනවා. ඇත්තටම පවුල් 94ක් ආපදාවට පත්වුණා. ගෙවල් දෙන්නේ 75කට විතරයි. ඉතිරි 16කට ඔප්පුවක්වත් ලැබුණේ නැහැ. පවුල් 94ටම ගෙවල් දෙන්නේ නැත්තේ ඇයි? ඍජුවම මේ ආපදාවට අහුවුණ අයටත් ගෙවල් නැත්නම් ගෙවල් දෙන්නේ කාටද? එයාලා කීවා මිය ගිය 29 දෙනා සිහි කරන්න ස්මාරකයක් හදනවා කියලා. ඒත් ඒකත් කතාවක් විතරයි. ඒ වුණත් අපි මිය ගිය අය සිහි කරන්න කෝවිල ළඟට යනවා.”
පසුගිය 2015 ඔක්තෝබර් 27 වැනිදා මීරියබැද්දේ වැසියන් බැලීමට පැමිණි ඌව පළාත් සභා මන්තී‍්‍ර සෙන්දිල් තොණ්ඩමන් කියා තිබුණේ ”ඔයාලා උද්ඝෝෂණය කරන්න එපා. අපි ඉක්මනින්ම මාස තුනකින් ගෙවල් හදලා දෙන්නම්” යනුවෙනි.
සැබැවින්ම පළාත් සභාවට පමණක් නොව මහ ඇමැතිගේ සිට මධ්‍යම රජයටත් විසඳීමට නොහැකි මේ ප‍්‍රශ්නය සෙන්දිල් තොණ්ඩමන් මාස තුනකින් විසඳන බව කීම විහිළුවකි.
ජනතා විශ්වාසයෙන් බලයට පැමිණි ඔවුන්ගේ සුපුරුදු කි‍්‍රයාවලිය එයින් තහවුරු වේ.
උපුටා ගැනීම ජනරළ පුවත්පත

