පන්ති කාමර සිරකුටියෙන් ශිෂ්‍යයා ගැලවේද?

classroom

2015 අගෝස්තු මහ මැති-වරණයෙන් පසු අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ වෙනස්කම් සිදුකිරීමට අදාළව බිහිවූ කතිකාවත් රැුසක් තිබේ. පාසල් පන්ති කාමරයේ ශිෂ්‍ය සංඛ්‍යාව 35ට සීමා කිරීමද ඉන් එක් යෝජනාවකි.

බැලූ බැල්මට මෙය අධ්‍යාපනය තුළ සිසුන්ගේ සාධනමය නැංවීම පිණිස වහාම ඉටු කළ යුතු වෙනස්කමකි.
මේ වන විට යම් හෝ ජනප‍්‍රියත්වයක් හිමිකරගත් පාසල්වල පන්ති කාමර සිසු සංඛ්‍යාව 45-50 හෝ සමහර විට ඊටත් වැඩිය බොහෝ පාසල්වල ගුරුමේසය සඳහා තිබිය යුතු ඉඩ කඩද ශිෂ්‍යයන් සඳහා වෙන් කිරීමට සිදුව ඇත.

පන්ති කාමරයේ අවශ්‍යම කාර්යයක් වන්නේ ශිෂ්‍යයාගේ ඉගෙනුම් කාර්යය ගුරුවරයා විසින් ඉතා සමීපව නිරීක්ෂණය කිරීමයි. එහෙත් අද පාසල් පන්ති කාමරයේදී එය කළ නොහැකිය.

මේ අනුව, ප‍්‍රශස්ථ ඉගෙනුම් ක‍්‍රමයක් ලෙස සැලකෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක‍්‍රමය පාසල් තුළ ප‍්‍රායෝගිකව ඉටුකිරීමට නොහැකිව තිබේ. ශිෂ්‍යයාට ක‍්‍රියාකාරීව ඉගෙනීමට තබා හුන් තැනින් සෙලවීමට හෝ නොහැකිව පන්ති කාමරය තදබද වී ඇත.

ශිෂ්‍ය සංඛ්‍යාව සීමා කිරීමේ ඉහත යෝජනාව හාස්‍යජනක කරුණක් ලෙස සැලකිය හැකි විසඳිය නොහැකි මට්ටමේ ගැටලූ ඒ හා බැඳී පවතින බැව් පරීක්ෂාකාරීව බැලූ විට පෙනේ.

මෙයට දශක ගණනකට පෙර පොදුවේ සියලූ පාසල්වල සිසුන්ට ප‍්‍රමාණවත් ඉඩකඩ හිමිව තිබිණි.
අඩි 20 පළලින් යුතු දිගින් අඩි 40, 60, 80, 100, 120 ආදී වශයෙන් වූ ගොඩනැඟිලිවල පන්ති කාමරය සඳහා නියමිත ඉඩ ප‍්‍රමාණය වූයේ අඩි 20×20කි. ව.අ. 400ක් වූ මෙම ඉඩකඩෙහි සිසුවකුට ව.අ. 10 බැගින් 35 දෙනකුට ව.අ. 350ක්ද ගුරුවරයාට සිය අසුන කළුලෑල්ල හා එහි භාවිතය මෙන්ම ක‍්‍රියාශීලී ඉගෙනුම් කාර්යය සඳහා ව.අ. 50ක්ද වෙන්වී තිබුණි.

නමුත් පසුකාලීනව ජනප‍්‍රිය පාසල් සංස්කෘතිය හේතුවෙන් පන්ති කාමර තදබද වී සිසුන්ට හා ගුරුවරයාට සිරකුටි බවට පත් විය.

මේ ගැන පරීක්ෂාකාරීව බලන විට පෙනී යන්නේ මේ ගැටලූවට දේශපාලනික හා ආර්ථික සාධක බලපාන බවයි.

සිසු තදබදයට ඍජුවම බලපාන සාධකය සීමාව ඉක්මවා සිසුන් ඇතුළත් කරගැනීමයි. ශිෂ්‍යත්වධාරීන් හැර සිසුන් ඇතුළත් කරගැනීමේ බලය හා වගකීම කෙළින්ම පැවරුණේ විදුහල්පතිවරයාටය.

නමුත් පසුකාලීනව පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම සඳහා නිල නොවන බලපෑම් එල්ල කළේ දේශපාලකයන් විසිනි. මෙය පන්ති කාමරයේ සිසු තදබදයට ප‍්‍රධාන හේතුවක් වී ඇත. මේ බලපෑම විදුහල්පතිවරුන්ට මෙන්ම අදාළ අධ්‍යාපන නිලධාරීන්ට ද එකසේ එල්ල විය.

කුඩා පාසල්වල ඩෙස්ක්, පුටු වැනි මූලික පහසුකම් සඳහාත් සුසිරි පාසල්වල පන්ති කාමර වැනි මූලික අවශ්‍යතා මෙන්ම ක‍්‍රීඩා සංකීර්ණ පිහිනුම් තටාක වැනි සුපිරි අංග සඳහාත් වශයෙන් මව්පියන්ගෙන් මුදල් ලබාගැනීම ඇරඹුණු අතර වැඩි වැඩියෙන් මුදල ප‍්‍රදාන ලබා ගැනීමට වැඩි වැඩියෙන් සිසුන් බඳවා ගැනීමට විදුහල්පතිවරුන් පෙලඹෙන්නට විය.

මෙයද සිසු තදබදයට ප‍්‍රධාන තවත් හේතුවක් විය.
ඉහත තත්වයන් යටතේ පන්තියක සිසුන් 35ට සීමා කිරීම හාස්‍යයට හේතුවන තරම් දුෂ්කර කාර්යක් බැව් පෙනේ.

මනාප සඳහා පොරබදින දේශපාලකයන් සිසුන් ඇතුළත් කිරීමට පාසල්වලට කරන බලපෑම රජයට නැවැත්විය හැකිද? ඒ ආණ්ඩු බලය රඳාපවතින්නේ දේශපාලන බලය මත බැවිනි.

එසේම පාසල්වල සියලූ භෞතික අවශ්‍යතා සඳහා ප‍්‍රතිපාදන ලබා දී මව්පියන්ගෙන් මුදල් අයකිරීම මුළුමනින්ම නවතා දැමීමට රජය සූදානම්ද?
තවද පන්ති කාමරයේ සිසු සංඛ්‍යාව 35ට සීමා කළ පසු අතිරික්ත සිසුන් ප‍්‍රමාණය සඳහා අනුගමනය කරන්නේ කුමන පියවරක්ද ඒ සඳහා ගත යුතු පියවර දෙකකි.

1. අතිරික්ත සිසුන් සඳහා එම පාසලේම නව පන්ති කාමර ඉදි කරදීම.
2. නොමැති නම් එම සිසුන් දැනට ඉඩකඩ ඇති පෙර කී පරිදි අඩු වරප‍්‍රසාද සහිත පාසල්වලට පේ‍්‍රෂණය කිරීමයි.

පළමු පියවර අනුගමනය කිරීමේදී දැනට පාසල්වල සිටින ශිෂ්‍ය සංඛ්‍යාව හතළිස් ලක්ෂයක් පමණ වන අතර පන්ති කාමරයක ශිෂ්‍ය සංඛ්‍යාව 43ක සාමාන්‍ය අගයක් ගන්නේ නම් පවත්නා පන්ති කාමර සංඛ්‍යාව 93023ක් පමණ වේ.

ළමුන් සංඛ්‍යාව සීමා කළ පසු වැඩි පුර අවශ්‍ය වන පන්ති කාමර සංඛ්‍යාව 20977කි. එම පන්ති කාමර සංඛ්‍යාව අලූතින් ඉදිකිරීමට (අඩි 20 × 20 පන්ති කාමරයක් සඳහා රුපියල් ලක්ෂ 5ක් වැය වේ යැයි උපකල්පනය කළ හොත්) දළ වශයෙන් රුපියල් කෝටි 1049 පමණ වැය වේ.

රජය මේ පිරිවැය දැරීමට සූදානම්ද යන ප‍්‍රශ්නය පවත්නා ප‍්‍රතිපත්ති රටාව තුළ ප‍්‍රශ්නයකි. පවත්නා පාසලේ මෙසේ නව පන්ති කාමර ඉදිකිරීම සඳහා භූමිය ප‍්‍රමාණවත් නොවේ. නව බාහිර ඉඩම් පවරා ගැනීමට රජය මුදල් වැය කිරීම සඳහා සූදානම්ද අවශ්‍ය අතිරේක ගුරුවරුන් බඳවා ගැනීමට රජය සූදානම්ද?
ඊළඟ ප‍්‍රශ්නය වන්නේ නැවත දේශපාලනමය ගැටලූවක් පැන නැඟීමයි.

එසේම එය මානුෂික ප‍්‍රශ්නයක්ද වේ. එනම් ඉහත එම අතිරික්ත සිසුන් වෙනත් ඉඩකඩ ඇති ග‍්‍රාමීය පාසල්වලට යවන්නේද ඒ සඳහා සිසුන් තෝරන්නේ කෙසේද අනිවාරනීය වූ මව්පිය විරෝධය රජය කෙසේ පිළිගන්නේද යන ප‍්‍රශ්න මෙහිදී පැන නඟී.

ළමුන්ට ඉඩකඩ ඇති පන්ති කාමර හිමිවිය යුතු බව අපිද පිළිගන්නෙමු. නමුත් සිසුන් කිසිදු අයුරකින් තමා පෙර සිටි පාසලට වඩා අඩු පහසුකම් සහිත පාසලකට බලයෙන් ආපසු යැවීමට අපට කෙසේවත් අනුමත කළ නොහැක. කළ යුතු වන්නේ රටේ සියලූ පාසල් සමාන පහසුකම් සහිත පාසල් බවට පත් කර සිසු ඝනත්වය අඩු කිරීමයි. නමුත් රජය මේ සඳහා විප්ලවකාරී ලෙස කැප වේද?

මුලදී පන්ති කාමරය සිසුන් 35 සීමා කිරීමට යෝජනා කළද එය වසර පහකට කල් දමන බව අධ්‍යාපන ඇමැති පැවසුවේ පවත්නා රටාව වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නැති පසුබිමක් තුළ ජනප‍්‍රියත්වය සඳහා පමණක් කළ මූල් ප‍්‍රකාශයේ සැබෑ දුෂ්කරතාව වටහා ගත් පසුවද යන්න ජනතාව සිතා බැලිය යුතු නොවේද?

උපුටා ගැනීම ජනරළ පුවත්පත