මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ එහි ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වන නීතිඥ නුවන් බෝපගේ ඊයේ රාත්‍රී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාත්‍රී 11.00ට පමණ කීර්තිරත්න පෙරේරා අත්අඩංගුවට ගෙන ඇති අතර අලුයම 1.00ට පමණ නීතිඥ නුවන් බෝපගේ අත්අඩංගුවට ගෙන ඇත.
මීතොටමුල්ල කුණු කන්ද තවත් පුළුල් නොකරන ලෙස බල කරමින් මීතොටමුල්ලේ ජනතාව පසුගිය 27 වැනිදා අඛණ්ඩ උපවාසයක් ආරම්භ කළහ. එදින රාත්‍රී 9.00ට පමණ බීමතින් පැමිණි කොළොන්නාවේ නගර සභාවේ සභාපති ඇතුළු මැරයන් පිරිසක් විරෝධතාකරුවන්ට ම්ලේච්ඡ ලෙස පහර දුන්හ. පහරකෑමෙන් කිහිප දෙනකු තුවාල ලැබූ අතර කීර්තිරත්න මහතා සහ නුවන් බෝපගේ මහතා කොළඹ ජාතික රොහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූහ.
පහරදීම සිදු කළ කොළාන්නාව නගරාධිපතිවරයා දින කිහිපයක් නිදැල්ලේ සිටි අතර ජනතා විරෝධය හමුවේ ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය සිදු විය. මෙම පහරදීමට පොලිසියද අනුබල දුන් බවට බරපතළ සැකයක් මතුව තිබේ. ඊට හේතුව මැරයන්ගේ පැමිණීමට පැයකට පමණ පෙර ‘ගැටුමක් වුණොත් අපි වගකියන්නේ නෑ‘ කියමින් එම ස්ථානයේ සිටි සියලුම පොලිස් නිලධාරීන් ඉවත්ව යාමයි. පහරදීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරිවරයා සහ නගරාධිපතිවරයා එම ස්ථානයේ සාකච්ඡා කරමින් සිටිනුද ජනතාව දැක තිබේ.
නුවන් බෝපගේ සහ කීර්තිරත්න පෙරේරා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.