මිනිස්සු පමණක් නොව ගොඩනැගිලිත් පැහැර ගන්නා බවට හිරුනිකාට චෝදනා 

HIRUNIKA

ඩිෆෙන්ඩරයකින් පුද්ගලයෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍රට ගොඩනැගිල්ලක් පහර ගැනීම සම්බන්ධයෙන්ද චෝදනාවක් එල්ල වී තිබේ. තමාට අයත් ගොඩනැඟිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා ඇයගේ මෑණියන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර යන අය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බවත්, එය තමාට නැවත ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා කොළොන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබේ. මෙම නඩුව මාර්තු මස 29 වන දින කැඳවීමට කොළඹ දිසා අධිකරණය විසින් තීරණය කර ඇත. පක්ෂ කාර්යාලයක් පවත්වාගෙනයාම සඳහා මොවුන් විසින් තමාට අයත් ගොඩනැඟිල්ලක් ලබා ගත් බවත්, එය නැවත තමාට දෙන ලෙස 2015 පෙබරවාරි මස සිට ඉල්ලීම් කරනු ලැබුවද, එම ඉල්ලීම මෙතෙක් ඉටුනොවුණු බව පැමිණිලිකරුවන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී තිබෙන බව වාර්තා වේ. හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් අංක 62-1859 දරන කළු පැහැති ඩිෆෙන්ඩර් රථයෙන් පැමිණි හයදෙනකුගෙන් සමන්විත පිරිසක්‌ 2015 දෙසැම්බර් 21 වැනිදා පස්වරු 2.30 ට පමණ වැල්ලම්පිටිය ගොතටුව ප්‍රදේශයේ පදිංචි අමිල ප්‍රියංග අමරසිංහ නමැත්තා පැහැර ගෙන ගොස්‌ පහරදීම සම්බන්ධයෙන්ද ඇයට චෝදනා එල්ලවී තිබිණි.

වජිර තෙන්නකෝන්