මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදීමේ සැකකරුවෝ නිදහස්!

Untitled-2

මාධ්‍යවේදී දයා නෙත්තසිංහට ප්‍රසිද්ධියේ පහරදුන් සැකකරුවන් පොලිසිය විසින් නිදහස් කිරීම බරපතල තත්වයක් බව මාධ්‍ය සංවිධාන හා සිවිල් සංවිධාන එක්ව පැවැත්වූ ජනමාධ්‍ය හමුවේදී විරෝධය පළ විය.

ඊයේ (14) කොළඹ ලංකා ගුරු සංගම් කාර්යාලයේ පැවැති මෙම ජනමාධ්‍ය හමුවට සහභාගි වූ මාධ්‍යවේදී දයා නෙත්තසිංහ පැවසුවේ නෙලුව ස්ථානාධිපතිවරයා විසින් සැකකරුවන් නිදහස්කර යවන බව තමාට දැනුම්දුන් බවයි. තමන් ජනමාධ්‍යෙව්දියකු ලෙස අවශ්‍ය වගකීම ඉටුකරන්නට රෝහලෙන් පිටව ආ නමුත් එහිදී ඇති වූ ප්‍රහාර නිසා තවමත් පීඩා විදින බවද මාධ්‍යෙව්දියා පැවසීය.

එසේම නෙළුව බලාගාරය නීතිවිරෝධී බව ජනාධිපතිවරයාත් දැන සිටින බව ඔහු ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයා සහභාගි වූ රැස්වීමකදී ගාල්ල-මාතර වාර්මාර්ග අධ්‍යක්ෂවරිය විසින් කළ කරුනු ඉදිරිපත් කිරීමකදී ජනාධිපතිවරයා කළ ප්‍රකාහයකට අනුව සිදුවන්නේ කුමක්ද යන්න ජනාධිපතිවරයාට රහසක් විය නොහැකි බව දයා නෙත්තසිංහ එහිදී පෙන්වා දුන්නේය. පරිසර වාර්තා කොළඹ සිටින ඇතැම් නිලධාරින් විසින් සකස් කර ඇතත් ඒවා බොහෝ දුරට වැරදි වාර්තා බව වාර්මාර්ග අධ්‍යක්ෂවරිය පවසා සිටි විට “ආ එහෙම නම් ඒවා කෙළඹ ඉදලා හදපු වාර්තා වෙන්න ඇති. ඒ වාර්තා හදන්න නෙලුවට ආවා කියලා ගමන් වියදම් අරගෙනත් ඇති“ යනුවෙන් ජනාධිපතිවරයා පවසා තිබිණි.

නෙළුව ප්‍රදේශයේ යෝජිත බලාගාරය ඉදිකිරීමෙන් දැඩි පරිසර හානියක් සිදුවන බව පරිසර අමාත්‍යංශය භාර ජනාධිපතිවරයාද දැනුවත් බවත් එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වාර්තාවක් ඉල්ලා තිබියදී අතරමග නතර කර ඇති බලාගාරයේ ඉදිකිරීම් නැවත ආරම්භ කිරීමට පියසේන ගමගේ හිටපු ඇමතිවරයා ඇතුළු පිරිසක් උත්සාහ කරන බව මාධ්‍යවේදී දයා නෙත්තසිංහ ජනමාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසීය.

මෙම බලාගාරයේ ඉදිකිරීම නිසා සිදුවන පාරිසරික හානිය සම්බන්ධයෙන් තමන් ඇතුළු මාධ්‍යවේදීන් හා පරිසරවේදීන් කණ්ඩායමක් පසුගිය මාර්තු මාසයේදී තොරතුරු ගවේෂණය කොට වාර්තාවක් සකස් කළ බවත් පහරදීම සිදුවූ රැස්වීමේදී තමා අදහස් දැක්වූයේ සියලු කරුණු සහිතව බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 මෙම බලාගාරය සම්බන්ධයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් ඉදිකිරීම් අතරමග නතර කර තිබියදී හිටපු ජ්‍යෙෂ්ට අමාත්‍ය පියසේන ගමගේ ඔහු දැරූ අමාත්‍යධූරයේ බලය මැතිවරණ පරාජයෙන් පසුවත් භාවිතා කරමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා රජයේ නිළධාරීන්ට අනිසි බලපෑම් සිදුකරන බවත් වාර්මාර්ග අධ්‍යක්ෂකවරයාට ලිපියක් යවමින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස නියෝග නිකුත් කරමින් සිටින බවත් දයා නෙත්තසිංහ මාධ්‍යවේදීයා පවසයි. අදාල රැස්වීම කැඳවා තිබුණේ ද එම නියෝගයේ ප්‍රතිඵලයක් ලෙස බව ඔහු පෙන්වා දෙයි.

මෙම මාධ්‍ය හමුවේදී පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම්, මාධ්‍යවේදී චන්දන සිරිමල්වත්ත සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් අදහස් දැක්වූහ.

දයා නෙත්තසිංහට පහරදීම සම්බන්ධ විරෝධය පළ කරමින් ජනමාධ්‍ය සංවිධාන හා පරිසර සංවිධාන කිහිපයක් මේ වනවිට ජනමාධ්‍ය නිවේදන නිකුත්කර තිබේ.

පහත පළ වන සබදතාවලින් එම නිවේදනවලට පිවිසිය හැකිය.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

ප්‍රජාතන්ත්‍රවාදය  උදෙසා මාධ්‍ය ව්‍යාපාරය

දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය

පරිසර හා ජෛව විවිධත්ව සංරක්ෂන භාරය

Untitled-4

Untitled-3

Untitled-1