‘සාමයේ රස’

ලේඛකයා- කරුණාහරන්

ලේඛකයා- කරුණාහරන්

2016.10.05 වන දින Tamil Mirror පුවත්පතේ කරුනාකරන් විසින් පළකරනු ලැබූ ලිපියක සිංහල පරිවර්තනයකි.


මෑතකදී අවධානයට ලක් විය යුතු ප්‍රසිද්ධ කාර්යයන් දෙකක් යාපනයේදී පැවැත්විණි. එයින් එකක් ‘තමිල් මක්කල් පේරවෛ‘ සංවිධානය මගින් ‘එලූග තමිල්‘ නමින් පැවැත්වූ පා ගමන හා දේශපාලන රැස්වීමයි. අනෙක ‘සම අයිතිය ව්‍යාපාරය‘ මගින් සංවිධානය කළ කලා හා සංස්කෘතික උළෙලයි. මේ දෙකෙහිදීම මේ රටේ ජනතාවගේ අයිතීන් වෙනුවෙන් හඩ නගන ලදී. ජනතාවගේ නිදහස හා සහජීවනය ගැනත් එහිදී සාකච්ඡා කෙරිණි. තවදුරටත් කියනවා නම් මේ අවස්ථා දෙකම ජනතාව මුහුන දෙන පීඩනයට එරෙහිව සංවිධානය වූ ක්‍රියාකාරිත්වයන් ලෙස සැලකිය හැකියි. නමුත් දෙකම වෙනත් කෝණයන්ගෙන් හා වෙනත් උපක‍්‍රම වලින් සැදි ක්‍රියාකාරිත්වයන් බවද කිවයුතුය.

‘එලූග තමිල්‘ දෙමළ ජනතාවගේ අයිතීන් හා ඒ අයගේ ප‍්‍රශ්න ගැන අවධානය යොමු කළ අවස්ථාවකි. එහෙත් දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම නියෝජනය කරමින් ජනතාව සහභාගී වූ ‘සම අයිතිය ව්‍යාපාරයේ කලා හා සංස්කෘතික උළෙල‘ තුළ මුලූ රටේම ජනතාවගේ අයිතීන් ගැන කතා කළා මෙන්ම සාමයට ළගාවිය හැකි බව අවධාරණය කෙරුණි. ඊට අදාළව කලාකරුවන් හා ලේඛකයන් දායක වන සංස්කෘතික තලයේ වැඩසටහන් ඉදිරියට ගෙනයාම සදහා ආරම්භයක් තබනු ලැබිණි.

‘එලූග තමිල්‘ උත්සවයට සංවිධායකයන් බලාපොරොත්තු වූ  ප‍්‍රමාණයට වඩා පිරිසක් එක්ව සිටියහ. නමුත් සම අයිතිය කලා හා සංස්කෘතික උළෙලට බලාපොරොත්තු වූ සහභාගීත්වයක් ලැබුණේ නැත. ‘එලූග තමිල්‘ උත්සවයට සහභාගී වූයේ උතුරේ ජනයා පමණයි. එයිනුත් යාපනය හා කිලිනොච්චි දිස්තී‍්‍රක්කවලට පමණක් සහභාගිවූවන් සීමා විය. සම අයිතිය ව්‍යාපාරය මගින් සංවිධානය කළ සංස්කෘතික උළෙලට දිවයිනේ සෑම ප‍්‍රදේශයකින්ම වාගේ ජනයා සහභාගී වූ බව සටහන් කළ යුතුය.

සම අයිතිය ව්‍යාපාරයේ වැඩසටහන තුළ වූ සංකල්පමය පාර්ශ්වයේ සිට ප‍්‍රදර්ශන අංග හා සංවාද ගුනාත්මක වශයෙන් ඉහළ මට්ටමක තිබුණි. එම සමස්ත උලෙළ ජාතිවාදයට එරෙහි වූවක් විය. එසේම රටේ ජනතාවගේ සියලූ ප‍්‍රශ්න එම සංස්කෘතික උලළේදී අවාධානයට යොමු කෙරිණි. විශේෂයෙන් කදුකරයේ ජනතාවගේ මූලික අයිතීන්, ජීවනෝපාය වැනි ප‍්‍රශ්නත් ලංකාවේ අනෙක් ජනයාගේ පොදු ප‍්‍රශ්නත් පොදු පීඩනයත් ගැනත් එහිදී සාකච්ඡා කෙරිණි. එසේම තමිල් ජනයා අද මුහුණ දෙන දේශපාලන සිරකරුවන්ගේ ප‍්‍රශ්නය තමිල් ජනයාට පමණක් සීමා වූවක් නොවන බව එහිදී අවධාරණය විය. දේශපාලන කි‍්‍රයාකාරිකයින් සියලූ දෙනාටම දේශපාලන සිරකරුවන් බවට පත්වීමේ ඉඩකඩ තවමත් ලංකාවේ තිබේ. එම නිසා මෙම ප‍්‍රශ්නය සෑම සමාජයකම දේශපාලන හැගීම් සමගත් අයිතීන් සමගත් සම්බන්ධ වූවක් මෙන්ම සියලූ දෙනාටම එක් වී එම තත්වයට එරෙහි විය යුතු බවට වූ අවධාරණයක් සම අයිතිය සංස්කෘතික උලෙළේදී සිදු විය.

එපමණක් නොව, අතුරුදන්වූවන්ගේ ප‍්‍රශ්නය, දේශපාලන විසදුම්, ස්ථීරසාර සාමයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම හා වර්ධනය කිරීම වැනි කාරණා එහිදී විශාල වශයෙන් අවධානයට යොමු විය. මෙම සංස්කෘතික හා කලා උලෙළ තුළ එවැනි අවධානයක් පෙන්නුම් කළද යාපනය පුවත්පත් සහ දෙමළ වෙබ් අඩවිවල එම කාර්ය කෙරෙහි එවැනි අවධානයක් ලබා දී නොතිබිණි. විශේෂයෙන්ම රටේ අන් දිශාවලින් පැමිණෙන ජනයා අමුත්තන් ලෙස පිළිගැනීමේ සම්ප‍්‍රදාය පැත්තෙන් හෝ එසේ කිරීමේ අඩුවක් එහිදී තිබිණි. වෙනත් දේශපාලකයන් පිළිගන්නා තරම් සාමයට කැපවෙන අය පිළිගැනීමට සූදානම් නොවීම කණගාටුවට කරුණක් බව සදහන් කළ යුතුය.

සාමය සදහා වූ ආරාධනයක් සමග දුර බැහැර සිට තමිල් ජනයාගේ මිදුලට පැමිණ සිටි සියලූ කවියන්, කලාකරුවන්, නිර්මාණකරුවන් හා සාමයට කැමැති අය සමග එකට එක් වීමට පසුබසින මනෝභාවය කුමක්ද? මෙය වැඩසටහන් දෙකෙහි සමහර අංග පැහැදිලි නමුත් සමහරක් ප‍්‍රශ්නකාරීයි.

සාමයටත්, සමගියටත් තමිල් ජනයාට විශ්වාසයක් නැත වැනි ඇගවුමක් එමගින් පෙන්නුම් කළ හැකිය. එම ලක්ෂණය පෙන්නුම් කරන්නේ සම අයිතිය ව්‍යාපාරයේ වැඩසටහන කෙරෙහි පමණක් නොවේ. උතුරේ කි‍්‍රයාකාරී වන සාමයට කැමති අයගේ කි‍්‍රයාකාරීත්වයත් වෙනත් මත දරන දේශපාලනයත් පිළිබද තමිල් සමාජය තුළ ඇත්තේ අඩු අවධානයකි. ඒ කෙරෙහි ඇති අවධානය වෙනුවට තමිල් සමාජයම තමිල් ජාතිකවාදී රැල්ලේ වෙළී පවතී.
එසේනම්, තමිල් ජනයා තම ගැටලූවලට තනිවම විසදුම් සොයනවාද යන ප‍්‍රශ්නය පැනනගී. එනම් තනිවම තම කි‍්‍රයාමාර්ග ගැනීම හා හඩ නැගීම නිවැරදි යැයි ඔවුන් සිතනවාද? මන්ද යත් ‘එලූග තමිල්‘ වැඩසටහන කි‍්‍රයාත්මක වූයේ එවැනි පදනමකිනි. එම වැඩසටහන පැවැත්වුනේද නැගෙනහිර පලාත හෝ වෙනත් ප‍්‍රදේශවල නියෝජනයක් සම්බන්ධ කර නොගෙන පමණක් නොව, මුස්ලිම් නියෝජනයත් පවා එහි නොමැති විය.

‘එලූග තමිල්‘ පමණක් නොව, තවත් එවැනි බොහෝ වැඩසටහන් දෙමළ ජනයාව පමණක් ඉලක්ක කරගෙන කි‍්‍රයාත්මක කෙරෙන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන් උතුරු නැගෙනහිර පලාත් තුළ ක්‍රියාත්මක කෙරෙන බොහෝ දේශපාලන වැඩසටහන්වලදීත් වෙනත් ප‍්‍රජාවන්ට ආරාධනා නොකරනවා මෙන්ම එහිදී ඔවුන්ට හිමි අවස්ථාවන්ද ලබා දෙන්නේ නැත. මෑතකදී මූ. තිරුණාවූක්කරසු රචනා කළ ‘ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව‘ නමින් වූ දේශපාලන ග‍්‍රන්ථයක් එළිදැක්වූ උත්සවයකදී වෙනත් දේශපාලන මත දරන ප‍්‍රජාවන්ට ආරාධනා කර නොතිබුණි. එකම වේදිකාව මත සියලූ තමිල් දේශපාලන පක්‍ෂවල නියෝජිතයන් සහභාගී වන බවක් සදහන්ව තිබුණත් තමිල් සමාජයේ පවතින වෙනත් පක්‍ෂ, වාමාංශිකයන් ඊට සහභාගී කරගත් බවක් පෙනෙන්නට නොතිබුණි. ඒ නිසා තවමත් තමිල් සමාජය තුළ පැවැත්වෙමින් තිබෙන්නේ එකම ආරේ වැඩසටහන් බව මෙයින් පැහැදිලි වේ.
නමුත් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම, ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, දේශපාලන විසදුම් වැනි විෂයන් තමිල් ජනයා පමණක් තීන්දු කරන දෙයක් ලෙස සැලකිය නොහැක. මේවා අනෙක් ප‍්‍රජාවන්ගේ එකගතාවයන්, අවබෝධයන් හා දායකවීම් ඉල්ලා සිටින දේශපාලන ක්‍රියාදාමයකි. අනෙකුත් සමාජයේ කැමැත්තක් නැතිනම් මේවා කිසිවක් ධනාත්මකව ඉදිරියට ගෙන යාමටත් විසදීමටත් නොහැකිය.

crowdසැබෑවටම ලංකාවේදී සාමය කරා ළගාවිය හැකිද? නොහැකිද? සැවොම කැමති වෙන්නේ එක්සත්කමින් හා එකමුතුකමින් බැහැරව යන මාවතද ? නැතිනම් තමිල් ජනයාට ජාතීන් අතර ඇති සහජීවනයෙන් හා ඒ තුලින් ඇතිවන සාමයට කැමැත්තක් නැතිද? එසේ නොමැති නම් තමිල් ජනතාවගේ අරගලය නමින් අපේක්ෂා කෙරෙන්නේ ‘ජාතිවාදය‘ ඇවිස්සීමද? ඒ අනුව නිවැරදි යැයි සිතන්නේ එක් ජාතිකත්වයක් ගැන සිතීමද ? වෙන අයුරකින් කිවහොත් රටේ ජීවත්වන්නේ සාමයේ රස බුක්ති විදීමට දන්නැති ජනතාවක් ද? එයිනුත් තමිල් ජනයාට සැබෑ සාමයෙන් අනිත් ප‍්‍රජාව සමග එක්ව ජීවත්වීමටත් ඒ අයගේ සංස්කෘතික පරිවර්තනයන්ට සහභාගීවීමටත් කැමැත්ත හා විශ්වාසය නැතිද? එසේ නම්, මේ රටේ සිදුවෙමින් ඇත්තේ කුමක්ද? නැවතත් එළඹෙන්නේ ජාතික වශයෙන් මතභේද හා ලේ වැගිරීම් ද?

මෙවැනි තත්වයක් ඇතිවීමට හේතුව ලෙස යුද්ධය අවසන් වීමෙන් පසු ගෙවුණු සත් වසර තුළ තමිල් ජනයාගේ දැවෙන ප‍්‍රශ්නවලට දකුණෙන් සහයෝගයේ සංඥාවක් ලැබුණේ නැතිවීම බව සදහන් කිරීම වටී. දීර්ඝ කාලීන යුද්ධයෙනුත්, මර්දනයෙනුත් බැටකෑ ජනයාගේ මානසිකත්වය අවබෝධකරගෙන එය සමනය කිරීමට යහපත් චේතනාවෙන් පියවර ගෙන තිබිය යුතුය. නැතිනම් යහපත් චේතනාවත්, විශ්වාසයත් වෙනුවට අවිශ්වාසය වර්ධනය වේ. දැනට උද්ගත වී තිබෙන තත්ත්වය මෙය යැයි කිවහැකිය. ‘එලූග තමිල්‘ වැඩසටහනට ජනතාව වැඩි වශයෙන් එක්වීමත්, දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ජනයා අතර ඇති අවබෝධයත් මත මෙම තත්වය වටහා ගන්නට හැකිය.

සම අයිතිය විසින් සංවිදානය කළ අවබෝධාත්මක සංස්කෘතික උත්සවයකට පවා කැමැත්තක් අවධානයක් පෙන්නුම් නොකිරීම වටහාගත යුත්තේ එවැනි ආකාරයකටය. එහෙත් ඒ සමගම මෙම අවිශ්වාසයන් මගහරවන යහපත් චේතනා දැඩිව ග‍්‍රහණය කර ගැනීම අවශ්‍ය වනු ඇත. මෙම මන්දගාමී තත්වය ඉක්මවමින් දිගුවන විශ්වාසයේ දෑත්ද තිබෙන බව වටහා ගතයුතුව ඇත. ඒ විශ්වාසයේ අත් අප විසින් වැළදගත යුතුව තිබේ.

දකුණේ සිට ලාල් හෑගොඩ, රෝහණ පොතුලියද්ද ඇතුළු සමග කවියෝ සහ කිවිදියෝ දහදෙනෙක් යාපනයට පැමිණ සිටියහ. එපමණක් නොව, ප‍්‍රසන්න විතානගේ, කිං රත්නම් වැනි ප‍්‍රසිද්ධ සිනමා අධ්‍යක්‍ෂකවරුන්, සංගීතවේදීන්, වේෂනිරූපණ ශිල්පීන් සහ සාමයට හිතැති බොහෝ දෙනෙක් යාපනයට පැමිණියහ. ළමයින්, ගැහැණුන්, වැඩිහිටියන් මෙන්ම රෝගී තත්වයේ පසුවන්නන්  පවා එම තත්වය නොසලකා මෙම වැඩසටහනට සහභාගී වී සිටි බව සටහන් කළ යුතුව ඇත. යාපනයේ ජනයා සමග අදහස් හුවමාරු කරගන්නට අවශ්‍ය යැයි අරමුණින් ප‍්‍රවීන කිවියර ලාල් හෑගොඩ පැමිණ සිටීම ඉන් විශේෂිතය. සමස්තයක් ලෙස යාපනයට පරිබාහිරව තුන්සියයකට වැඩි පිරිසක් සම අයිතිය වැඩසටහනට එක්වීමට පැමිණ සිටියහ.

ජාතීන් අතර අවබෝධය, සෙනෙහස සහ එකිනෙකා අතර අදහස් හුවමාරුව දිරිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවයට සහභාගීවීම ඔවුන්ගේ අරමුණ වී තිබුණු බව නිසැකය. මෙම කලා හා සංස්කෘතික උළෙලේ අවන්ත ආටිගලගේ කාටුන්, නයනහාරී අබේනායක හා ලාල් හෑගොඩගේ ඡායාරූප, මෙන්ම සූරි හා කො. කයිලාසනාදන්ගේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය කෙරිණි. ධර්මසේන පතිරාජගේ ‘පොන්මනී‘, කේසවරාජන්ගේ ‘අම්මා නලමා‘, කිං රත්නම්ගේ ‘කදුකරයේ දෝංකාරය‘, ප‍්‍රසන්න විතානගේ ‘උසාවිය නිහඩයි‘ වැනි චිත‍්‍රපට සහ කෙටි චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කරනු ලැබිණි. මේවා යුද්ධයේ වේදනාව හා සාමයේ අවශ්‍යතාවය අපට ඒත්තු ගන්වන කලා කෘතින්ය. දින තුනක් නොකඩවා පැවතුණු මෙම කලා උළලේ එකිනෙකා අතර වූ විවාද හා සංවාද විශේෂයෙන් අවධානයට ලක් විය යුතුය. ඒවා දිගුකාලීනව ගත් විට සාමයට යන මාර්ගය විවෘත කිරීමට ආධාරයකි. මෙම කලා උලෙළේ සිදු වූ සංවාදවලට උතුරේ විවිධ අයට ආරාධනා කර තිබුණ නමුත් බලාපොරොත්තු වූවාට වඩා තමිල් කලාකරුවන්ගේ හා නිර්මාණකරුවන්ගේ සහභාගී වීම අඩුවෙන් තිබුණි. කෙසේනමුත් සහභාගීවූවන් එම කාර්යය හා අරමුනු කෙරෙහි විශ්වාසයක් ගොඩනැගෙන අයුරින් සංවාදයන්ට දායක වීම විශේෂයෙන් කැපී පෙණිනි.

මේ ආකාරයෙන්ම දකුණේ සිට ප‍්‍රවීන නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ලගේ මූලිකත්වයෙන් ‘ජනකරළිය‘ නමින් නාට්‍ය කණ්ඩායමක් මෑතකදී යාපනයට පැමිණ සිටියහ. දින දහයක් නොකඩවා යාපනයේ නල්ලූර් ප‍්‍රදේශයේ එම නාට්‍ය රගදැක්වූණි. බොහෝ දෙනෙක් එම නාටය දර්ශන සදහා සහභාගී වී තිබුණ නමුත් මෙම රගදැක්වීම් ගැන සෑහීමකට පත්විය නොහැක. ඒකාකාරී රංගනයන් නිසා අවශ්‍ය අවධානය ලබාගැනීමට අසමත් තත්වයක් එහි විය.

එසේ වුවද තමිල් සමාජය පවතින්නේ, ඉන්දියාවේ කලාකරුවනුත්, ඉන්දීය වැඩසටහනුත් පැමිණෙන අවස්ථාවලට ප‍්‍රමුඛත්වය දෙන මානසිකත්වයක බව කිවයුතුය. මෙමගින් නැවත නැවත කියැවෙන්නේ ජාතියේ එක්සත්වීම තුලින් ගොඩනැගෙන සාමය හා ඒ මාර්ගයෙන් ගොඩනැගෙන දේශපාලන විසදුම් කෙරෙහි විශ්වාසය හෝ කැමැත්තත් නැති බවකි. එය තවත් ආකාරයකට කෙලින්ම කියනවා නම් අසල්වැසියාව විශ්වාස කරනවාට වඩා පිටස්තර පුද්ගලයන් විශ්වාස කරන තත්වයක් ලෙස දක්නට ලැබේ. විශේෂයෙන් සිංහල සමාජය හෝ මුස්ලිම් සමාජයට වඩා ඉන්දීය සහ බටහිර ජාතීන් වැඩියෙන් විශ්වාස කරන තත්වයක් තමිල් සමාජය තුළ තිබේ. නැතිනම් දේශිය මිතුරන්ට වඩා විදේශයන්ට වැඩි වැඩියෙන් කැමති ගුණයක් මෙහි පෙනී යයි. මෙම තත්වය ලංකාවට සෑම විටම යහපත් වේ? මේ තත්වය ගැන කොළඹ පාලනය විසින් අවධානය යොමු කළ යුතුව ඇත. ඒ වගේම ලංකාවේ සමස්ත සමාජය ඒ ගැන කල්පනා කළ යුතුව ඇත. මෙය කාලයේ නියෝගයක් ලෙස සැලකිය යුතුය. අප එසේ කියන්නේෙ, මේ වූකලී සාමයටත් විසදුමටත් තිබෙන කාලය නිසාය. පැහැදිලිවම කිවයුත්තේ මෙය යුද්ධයටත්, මතභේදයටත්, වෙන්වීමටත් තිබෙන කාලය නම් නොවන බවයි.

සාමයේ රසය දැනගන්න අවශ්‍ය නම් යමෙක් විසින් යුක්ති සහගතව කල්පනා කළ යුතුව තිබේ. එසේ යුක්ති සහගතව කල්පනා කිරීමට නම් ඉවසීම අවශ්‍ය වේ. එසේ ඉවසීමෙන් සාමයේ උල්පත් පෑදෙනු ඇත.

2016 ඔක්තෝබර් 05 වැනි දින තමිල් මිරර් පුවත්පතේ පළ වූ ලිපිය

2016 ඔක්තෝබර් 05 වැනි දින තමිල් මිරර් පුවත්පතේ පළ වූ ලිපිය