தமிழ்
English
Contact
Friday 3rd May 2019    
මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදුන් මැරයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු! - දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මාධ්‍යවේදී දයා නෙත්තසිංහට පහරදුන් මැරයින්ට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරනු! – දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය



පරිසරවේදියකු සහ සත්හඬ පුවත්පතේ කර්තෘ මණ්ඩල සාමාජික දයා නෙත්තසිංහ මහතාට පසුගිය 12 වනදා ගාල්ල, නෙළුව, දෙල්ලව , ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාරය සම්බන්ධයෙන් දෙල්වල නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වී සිටියදී හිටපු අමාත්‍ය වරයෙකු වන පියසේන ගමගේගේ මැරයන් පිරිසක් පහරදී ඇත.

පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්වල රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සහ කිරීමේ දී පියසේන ගමගේගේ මැරයන් ඊට විරෝධය පළකර මෙම ම්ලේච්ඡ මැර ප්‍රහාරය එල්ලකොට තිබේ .

රාජ්‍ය නිලධාරින් ද රැඳී සිටි අවස්ථාවක සිවිල් ජන පිරිසක් ජනමාධ්‍යවේදියාට තර්ජනය කිරීම රට තුළ පවතිනවා යැයි පවසන ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයට ද බරපතල අභියෝගයකි .

මේ අතර පසුගිය 11 වනදා පෙරවරුවේ බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයක් වාර්තා කිරීමට ගිය කුරුණෑගල දිස්ත්‍රික් මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා හට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර හා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් ඇම්.ඩි .සෝමරත්න ඇතුළු පිරිසක් බැන,තර්ජනය කර තිබේ .මේ අවස්ථාවේ පැමිණි නලින් බණ්ඩාර මන්ත්‍රීවරයාගේ ආධාර කරුවන් කැමරාව වසා පටිගත කිරීම් වලට ද බාධා සිදු කර තිබේ .මේ සම්බන්දයෙන් මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතා විසින් බිංගිරිය පොලිසියට පැමිනිල්ලක් ද කර ඇත.

මෙම තත්වය පිළිබඳව ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ රජයේ බලධාරීන්ගේ අවධානය යොමුකරන දකුණු පළාත් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍යවේදීන්ට තර්ජනයන්ගෙන් හා බාධාකිරීම් වලින් තොරව සිය වාර්තාකරණයේ යෙදීමට උචිත පරිසරයක් ඇති කිරීමට සුදුසු පියවර නොපමාව ගන්නා ලෙස දැඩිව අවධාරණය කර සිටී.

මාධ්‍යවේදීන්ගේ නිදහස් වාර්තාකරණයට හා ඒ සඳහා ඇති අයිතීන් හට එල්ලවූ තර්ජනයක් ලෙස මෙම ප්‍රහාරය දකුණු පළාත් වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සංගමය මගින් තරයේ හෙළා දකිනු ලැබේ .එමෙන්ම අදාල පහරදීමට සම්බන්ධ සියලු මැරයින් හා ඒ සඳහා අනුබල ලබාදුන් අය වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසත් මාධ්‍යවේදී දයා නෙත්තසිංහ මහතාගේ හා මාධ්‍යවේදී දිනෙත් කුමාර මහතාගේ ජිවිත ආරක්ෂාව තහවුරු කර සුපුරුදු ලෙස තම මාධ්‍ය කටයුතු කරගෙන යාමට වැඩ කටයුතු සලසන ලෙසත් සියලු වග කිවයුතු පාර්ශවයන්ගෙන් දකුණු පළාත් වෘත්තීය මාධ්‍ය වේදීන්ගේ සංගමය දැඩිව ඉල්ලා සිටි ..

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි,
සභාපති




Related News