‘අම්බලන්ගොඩ දුයිෂෙන්‘ගේ සමුගැනීම!

1971 අරගල සමයේ ජනතා විමුක්ති පෙරමුණට එක්වී වාමාංශික ක්‍රියාකාරිකයකු බවට පත් වූ ගංගාධර වීරසූරිය පසුගියදා අභාවයට පත් විය.

ඔහු පිලිබද අවසාන කටයුතු වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයකුට හිමි ගෞරවාචාර මැද ඔක්තෝබර් 19 වැනිදා අම්බලන්ගොඩදී පැවැතිවිනි. එම අවස්ථාවට ප්‍රදේශවාසීන්, කලක් ඔහු සමග ජවිපෙ දේශපාලනය කළ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විශාල පිරිසක් පැමිණ සිටියහ. විප්ලවවාදියෙක් ජීවිතය ගත කළ යුත්තේ කෙසේද යන ආදර්ශය තබා නික්ම ගිය ඔහු පිළිබද ප්‍රදේශවාසින් පවුලේ ඥාතීන් වෙනුවෙන් අවමංගල්‍ය අවස්ථාවේ අදහස් දැක්වූ මල්ලියාවඩු විසින් කළ කතාව පහත පළ කරමු.

“ගංගාධර සහෝදරයා ගැන දවසකින් දෙකකින් තුනකින් කතා කරල ඉවර කරන්න බැහැ. මට පැවරිලා තියෙන්නේ ප්‍රදේශවාසින් වෙනුවෙන් පවුලේ ඥාතීන් වෙනුවෙන් අවමංගල සභාව අමතන්නයි.

නමුත් ගංගාධර සහෝදරයා ගැන කතා කරද්දි මට ප්‍රශ්නයක් මතුවෙනවා මං කොහොමද ගංගාධර සහෝදරයාගෙ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්නේ කියලා. ඔහුට පෞද්ගලික ජීවිතයක් තිබුනෙ නෑ. ඔහුට තිබුනෙ දේශපාලන ජීවිතයක්. ඒ ජීවිතය ඇතුලෙ මේ ගංගාධර සහෝදරයා ඔහුගෙ බිරිඳත් සමඟ තමුන්ගෙ පංතිය වෙනුවෙන් තමුන්ගෙ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් වැඩ කටයුතු කලා. එහිදී ගීතා සහෝදරී අම්මෙක් වගේ ගංගා සහෝදරයා එක්ක එකට හිටියා. ඇය සහෝදරීයක් බිරිඳක් ලෙස නෙවෙයි මවක් ලෙස ගංගාධර සහෝදරයාගෙ දුක සැප බෙදාගෙන ඔහුත් එක්ක ජීවත් වුනා.

ඉතින් මං දන්නා විදියට 1971 අරගලය තුල ගංගාධර සහෝදරයා දේශපාලනයට ප්‍රවිෂ්ඨ වුණා. ඊට පස්සේ 88-89 කාලෙදි තමන්ගෙ දේශපාලන ජීවිතයේ කඩඉමකදි අත්අඩංගුවට පත්වෙලා, එහිදී ඔහු තමුන්ගෙ පංතිය පක්ෂය පාවා දෙන්නෙ නැතිව දේශපාලන ව්‍යාපාරය තුල වැඩ කලා. අපි ප්‍රදේශවාසින් වශයෙනුත් හිතවතුන් වශයෙනුත්, ගංගාධර සහෝදරයා ගැන අපිට යම් දැනුමක් තිබුණා. දේශපාලන ජීවිතය ගත්තොත් හෙම ඔහු මගෙත් දේශපාලන ගුරුවරයෙක්. ඔහු දේශපාලන පන්ති, දේශපාලන සාකච්ඡා පවත්වලා තියෙනවා අපිට. ඔහු මේ ප්‍රදේශයේ ඉඳගෙන මේ ගමට, අම්බලන්ගොඩ නගරයට, මේ රටට විශාල සේවයක් කලා.

ඒ වගේම තමයි ඔහුගෙ දේශපාලන ව්‍යාපාරය තුල වැඩ කටයුතු කරද්දි, ඔහුට ව්‍යාපාරික ස්ථානයක් අම්බලන්ගොඩ නගරයේ තිබුනා. ඔහු දේශපාලන කරද්දි, තමන්ගෙ ව්‍යාපාරික ස්ථාන පවා පාවිච්චි කලේ පක්ෂ සහෝදරවරු වෙනුවෙන්. දේශපාලන වැඩ කටයුතු වෙනුවෙන් එහිදී ඔහුට ධනපති පංතියේ මැරයන්ගේ ප්‍රහාර වලින් කපා කොටා තුවාල කරලා රෝහල් ගත වෙන්න සිදු වුනා. ඒත් අපි ඔහු ආරක්ෂා කරගෙන ඔහුට ප්‍රතිකාර කරගෙන සිටියා. නමුත් මේ අපි වගේ නෙවෙයි, දැඩි සිතක් තිබුණු විප්ලවවාදි ව්‍යාපාරයේ හිටපු සහෝදරයෙක් වශයෙන් ගංගා සහෝදරයා සතුරන්ගෙ බලපෑම් වලට යටත් නොවී තමන්ගෙ දේශපාලන වැඩ කටයුතු කලා. 2005දි ඔහුටත් අපේ මියගිය නයිදුවාවඩු සහෝදරයාටත් මැරයො පහර දීලා රෝහල් ගත කරන්න සිදු වුනා. අපේ ආදර නයිදුවාවඩු සහෝදරයා ඒ අවස්ථාවේ අප අතරින් සමුගෙන ගියා.

ඉතින් හිතවතුනි එහෙම කටයුතු සිද්ධ වෙද්දි, මට මතකයි ගංගා සහෝදරයා රෝහල් ගත වෙලා ඉද්දි බලන්න ගියාම, මම දැක්කා අත දිගේ මැහුම් පහක හයක තුවාලයක් ‘ගංගයියේ මොකද කියලා ඇහුවාම ‘නෑ, මේ පොඩි තුවාලයක්’ කියලා කිවා. ඔහු ඒවා ගණන් ගත්තේ නෑ. සතුරන්ගෙ ප්‍රහාර පවා සිනා මුසු මුහුණින් විඳ දරාගත්තා. ඒ තමන්ගෙ දේශපාලන ව්‍යාපාරය වෙනුවෙන් .තමන්ගෙ කැපවීම වෙනුවෙන්. ඔහුට තිබුන පන්නරය වෙනුවෙන්. අපිට නොතිබුන දේශපාලන පන්නරයක් ගංගා සහෝදරයාට තිබුණා. ඔහු දේශපාලන වැඩ කටයුතු කරලා, මැර ප්‍රහාරවලට මුහුණ දීලා රටට වැඩ කටයුතු කරලා, ගමටම ආදර්ශයක් දුන්නා.

මට මතකයි දවසක් කළුවරමුල්ල ප්‍රදේශයේ තිබිච්ච රැස්වීමකදි විලේගොඩ අරියදේව හාමුදුරුවො කියනවා අම්බලන්ගොඩ ඉන්න, මේ දේශපාලන ව්‍යාපාරය තුල ඉන්න ‘දුයිෂෙන්’ වෙන කවුරුත් නෙමෙයි ගංගාධර සහෝදරයා කියලා. ඔහු මේ ගෙදර ඉඳලා, තමුන්ගෙ පයේ දාන සෙරෙප්පු දෙකේ, සම්පූර්ණ සෙරෙප්පු තිබුනෙ නෑ. සෙරෙප්පු තිබුනෙ පතුල් නැතිව. එසේ සෙරෙප්පු දෙකක්වත් පාවිච්චි නොකර පයින් ඔහු කෙරමිණියට, අම්බලන්ගොඩ දූවට ගිහිල්ලා ඔහු මේ වැඩ කටයුතු කලා. එහෙම කරමින් තමන්ගෙ දේශපාලන පක්ෂය තුල වැඩ කටයුතු කලා. කිසියම් කෙනෙකුගෙ දෝෂාරෝපනයක් අහලා හිනාවෙලා ඒවා බාරගෙන ඔහු සහෝදරයෙක් ලෙස ජීවත් වුනා. ඔහු අපට දහසක් ආදර්ශ දුන්නා. එහෙම දේ කළ ගංගාධර සහෝදරයා තමයි අද අපෙන් වෙන් වෙලා යන්නේ.
මට ඔහුගෙ පෞද්ගලික ජීවිතයක් ගැන කතා කරන්න විදියක් නෑ. මට තියෙන්නේ ගංගාධර සහෝදරයාගෙ දේශපාලන ජීවිතය පමනයි. ඔහු තමන්ගෙ ජීවිතයට වඩා පක්ෂය ඉස්සරහින් තිබ්බා. එහෙම දේශපාලන වැඩ කලා. ලංකාවෙ දේශපාලනයේ කවදකහරි සමාජවාදි රාජ්‍යයක් මේ රටේ බිහිවුනාට පස්සෙ හරි එහි ලියවෙන වාමාංශික දේශපාලන ව්‍යාපාරයේ පොතක පරිච්ඡේදයක් වෙන්වෙයි ගංගාධර සහෝදරයා අම්බලන්ගොඩ ප්‍රදේශයේ හිටපු දුයිෂෙන් කියලා.

සහෝදරවරුනි, අවසාන වශයෙන් මං එකක් කියනවා ගංගාධර සහෝදරයා කරපු කැපවීම, ඒ වගේම කොමියුනිස්ට්වාදියෙක්, විප්ලවවාදියෙක් ලෙස ඔහු කටයුතු කිරීම, මේ පක්ෂය තුල ඉඳලා ධනපති පක්ෂ තුලට ගිහිල්ලා ඔවුන්ගෙ සුරතුලුන් වන, ඔවුන්ගෙ මුට්ටි කාසි වලට යටවන අයට ගංගාධර සහෝදරයා පණිවිඩයක් දීලා තියෙනවා, විප්ලවවාදියෙක් ජීවිතය ගත කල යුත්තේ කෙසේද කියා. ඒ වගේම වාමාංශික දියාරු මිනිසුන් ලෙස ඉඳලා ඉදිරියේදි ධනපතින්ගෙ තුරුලට යන්න බලන් ඉන්න මිනිසුන්ටත් ඔහු ආදර්ශයක් දුන්නා විප්ලවවාදියෙක් ජීවිතය ගත කල යුත්තේ කෙසේද කියා. ඔහු විප්ලවවාදින්ට, පාවා දෙන්නන්ට, ධනපතියන්ගෙ සුරතුලුන් වන්නන්ට, ඔහු දුන්නා ආදර්ශයන් ඔහුගෙ ජීවිත කාලය තුල.

අද ඒ ආදර්ශය අපිට තියෙනවා. අපි ගංගාධර සහෝදරයා ඉදිරියේ සපථකරනවා ඔබ දුන්නු ආදර්ශය අපි ඉදිරියටත් ආරක්ෂා කරගෙන ඉන්නවා කියන එක.

ආදරණිය ගංගාධර සහෝදරයාට අපගේ විප්ලවීය ආචාරය !!!”

gangadhara-weerasuriya_malliyawadu