தமிழ்
English
Contact
Friday 3rd May 2019    
පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු - ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ භාරය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පරිසරවේදී දයා නෙත්තසිංහට පහරදීම ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු – ශ්‍රී ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ භාරය



ගාල්ල, නෙළුව, දෙල්ලව, ආඳා දොල හරස් කරමින් ඉදිකිරීම ආරම්භ කර තිබෙන කුඩා ජල විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් සිදුවන පරිසර විනාශය පිළිබඳව කරුණු දැක්වීමට ගොස් සිටියදී පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට සම්බන්ධ බව කියන මැරයන් පිරිසක් විසින් සිදුකල පහරදීම අප සංගමය විසින් ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

මෙම විනාශකාරී ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පියසේන ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් දෙල්ලව නාථාරාම විහාරස්ථානයේ පැවති මහජන හමුවට සහභාගී වෙමින් පරිසරවේදීයකු ලෙස යෝජිත කුඩා ජල විදුලි බලාගාරය හේතුවෙන් ආඳා දොළ ඇතුළුව දෙල්ලව රක්ෂිතයට සිදුවිය හැකි පාරිසරික විනාශය පෙන්වාදීම සඳහා නෙත්තසිංහ මහතා උත්සාහ කිරීමේදී මෙම ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලකොට ඇත.

මෙරට පරිසරය හා ස්වභාවික සම්පත් සංරක්ෂණය කරන බවට පොරොන්දුවී බලයට පැමිණි යහපාලන ආණ්ඩුව මේ ආකාරයෙන් පරිසර ක්‍රියාකාරීන් මර්දනය කිරීමට ඉතා නිවට හා නිර්ලජ්ජිත ආකාරයෙන් උත්සාහ කිරීම කිසිඳු ලෙසකත් අනුමත කල නොහැක. මින් පෙර ද මීතොටමුල්ල කුණුකන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ යන මහත්වරුන් අත්අඩංගුවට ගැනීම මගින් වර්තමාන යහපාලන ආණ්ඩුව විසින් පරිසරවේදීන් මර්ධනය කිරීම සඳහා කටයුතු කල අතර ඊයේ පරිසරවේදී දයා නෙත්තසිංහ මහතාට එල්ලවූ ප්‍රහාරය එහි දිගුවක් ලෙස හැඳින්විය හැකිය. එබැවින් මෙම සමස්ථ පරිසර ක්‍රියාකාරීන් දඩයම අප සංවිධානය ඉතා පිළිකුලෙන් යුතුව හෙළාදකිමු.

පසුගිය පාලනය පෙරලා වර්තමාන යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා මෙරට පරිසර ක්‍රියාකාරීන් ද ප්‍රභල මෙහෙයක් සිදුකළ අතර එහි අරමුණ වූයේ මෙරට ස්වභාවික සම්පත් සංරක්ෂණය කිරීමට හා පරිසර දුෂණ තත්වයන් වැලක්වීමට පාලකයන් යොමුකර ගැනීම බවද ආණ්ඩුවට සිහිපත් කිරීමට කැමැත්තෙමු. නමුත් එවැනි පසුබිමක් තුල වර්තමාන යහපාලන ආණ්ඩුව ද පුරුදු දුර්දාන්ත ගමන් මගේම යමින් මෙරට පරිසරය වනසමින් සිටීම හා පරිසර ක්‍රියාකාරීන් දඩයම් කිරීම ඉතා බියගුළු ක්‍රියාවක් බවද වැඩි දුරටත් අවධාරණය කරනු කැමැත්තෙමු.

සුපුන් ළහිරු ප්‍රකාශ්
සභාපති




Related News