දැන් තියෙන්නේ හවුල් ආණ්ඩුවක් එක්ක හවුල් විපක්ෂයක්! – පුබුදු ජයගොඩ

පුබුදුweb

ආණ්ඩුව හා විපක්ෂය එක්ව මේ වන විට පාර්ලිමේන්තුව තුළ සම්මත කර ඇති තොරතුරු දැනගැනීමේ පනත හා පුද්ගලයන් ලියාපදිංචිය සඳහා ඉලෙක්ට්‍රෝනික හැඳුනුම්පත් හඳුන්වාදීමට අදාල පනත් වල ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරොධී ස්වභාවය හෙළදරව් කිරීම සඳහා අද 29 දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය මඟින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. මෙම මාධ්‍ය හමුව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහ කම්කරු අරගල මධ්‍යස්ථාන වෙනුවෙන් නිලාන් ප‍්‍රනාන්දු සහභාගී වුණා.

එහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ

පහුගිය 21 වෙනිදා සම්මත කෙරුණු පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතට අදාල සංශෝධනය මීට පෙර 2014 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව යටතේ. එදා මෙම පනතට එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය යන පක්ෂ මීට විරුද්ධව ඡුන්දය දුන්නා.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනත සම්මත කළේ 1971 ඔක්තෝබර් මාසයේ. මේ පනත අනුව පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කරගන්න ලබා ගත හැක්කේ පුද්ගලයන්ගේ ජීව දත්ත(bio data) පමණයි. ඒක ලංකාවේ විතරක් නොවේ ලෝකයේ පොදු පිළිගැනීමක්. ඒ යටතේ පුද්ගලයන් උපන් ස්ථානය, උපන් දිනය, විවාහකද අවිවාහකද යන බව ආදියි මීට අයත්.

මේ පනතට අලූතින් ඉදිරිපත් කළ සංශෝධනය අනුව ජීව දත්ත වලට අමතරව ජෛවමිතික (bio metrix) ලක්ෂණත් ගත හැකි බව පැවසෙනවා. මේ කියන්නේ අපේ ශරීරයේ අංගෝපාංග පිළිබඳ විස්තර, අතේ ඇඟිලි 10 සලකුණු, ඉදිරියේදී ඇසේ ඡුායාරූප, ඞී එන් ඒ වගේ විස්ථර ගන්න පුුලුවන්.

අපි කියන්නම් ඇයි අපි මේකට විරුද්ධ කියලා. ඊට කලින් 2014 අගෝස්තු 21 මේ ගැන විවාදයේදී එජාපය හා ජවිපෙ දක්වපු අදහස්.

එරාන් වික‍්‍රමරත්න මන්ත‍්‍රීවරයා එදා කිව්වේ මෙහෙම

හැන්සාඞ් එක අනුව විද්යුත් හැඳුනුම් පත මගින් ජනතාවගේ පෞද්ගිකත්වයට හානි වීමේ අවධානමක් තියෙනවා. දත්ත ගබඩාවක් ඇති කළොත් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට හානි වෙන්න පුළුවන්.

එහෙමයි ඔහු එදා කිව්වේ. ඔහු එදා කිව්වා මම නම් කැමති නෑ මගේ පෞද්ගලික තොරතුරු දෙන්න කියලා.

ඒ වගේම අජිත් මාන්නප්පෙරුමත් මෙවැනි අදහසක් කිව්වා.

සාමාන්‍යයෙන් බීමත් ව හිටපු රියදුරෙකුට ලේ හා ලේ සාම්පල් ලබා ගන්න ඔහුගේ අවසර ඕන. අපරාධ නඩු විධාන සංග‍්‍රහය අනුව ඔහුගේ කැමැත්ත නැතිව ඇඟිලි සලකුණු ගන්න බෑ. එවිට පොලිසියට අවශ්‍ය නම් අධිකරණ නියෝග ගන්න ඕන.

පසුගියද 21 දා මේ පිළිබඳ එස් බී නාවින්න ඇමතිතුමා කිව්වා මේක කරන්නේ දත්ත ගබඩාවක් හදන්න කියලා.

දැන් මේක විද්යුත් හැඳුනුම්පතත් එක්ක පටලනවා. නමුත් විද්යුත් හැඳිනුම්පතේ මේ ගන්න දත්ත නෑ. ඇඟිලි සලකුණු විද්යුත් හැඳිනුම්පතේ නෑ. මේක ඉතා පැහැදිළිව ගන්නේ බත්තරමුල්ලේ දැන් ඉදිකෙරෙමින් පවතින රාජ්‍ය බුද්ධි අංශයේ දත්ත ගබඩාවක් හදනවා ඒකට තමයි මේවා ගන්නේ.

මේක අහපුවාම කියනවා බැංකු කටයුතු පහසු කරන්න කියලා. ඒකට මොකද ඇඟිලි සලකුණු. සුපර්මාකට් වලින් බඩු ගන්න මොකටද ඇඟිලි සලකුණු.

මිනිස්සු දැන් මේවා කරන්නේ ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් වලින්.

දැන් මේක අපේ ප‍්‍රශ්නයක් නෙවෙයි. මොකද අපේ ගෙවල් වලට හැමදාමවගේ පොලිසියෙන් යනවා. අපේ සියලූ විස්තර ඒ අය ගාව තියෙනවා. මගේ ඇඟිලිසලකුණු පහුගිය සතියෙත් පොලිසියෙන් ගත්තා.

ඒ නිසා අපි කියන්නේ මේක ජනතාවගේ ප‍්‍රජාතතන්ත‍්‍රවදය පිළිබඳ ප‍්‍රශ්නයක්.

අජිත් මානප්පෙරුම මන්ත‍්‍රීවරයා 2014 අපේ අජිත් කුමාර සහෝදරයා මීට විරුද්ධව පාර්ලිමේන්තුවේ කරපු කතාව උපුටාගෙන කිව්වා. ජේ ආර් ගෙන් පස්සේ පී ආර් ආවා පී ආර් ගෙන් පස්සේ එම් ආර් ආව කියලා. නමුත් අපි කියනවා පී ආර් ගෙන් පස්සේ ඩබ්ලිව් ආර් එනවා ඔහු ඊට වඩා වෙනස් කියලා. අපි එන්නේ මේ ක‍්‍රමය වෙනස් කරන්න. මෙහෙම දත්ත එකතු කළොත් ජනතාවට සැක උපදිනවා කියලා.

අපි අහනව දැන් මොකද්ද මේ අයගේ තියෙන වෙනස කියලා.

එදා සුනිල් හඳුන්නෙත්ති මන්ත‍්‍රීවරයා කිව්වා. පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂාව සඳහා ලංකාවේ පනතක් නෑ. ඒ නිසා විද්යුත් හැඳිනුම් පත හඳුන්වාදීමේ ගැටලූවක් තියෙනවා කියලයි කිව්වේ.

නමුත් අද බිමල් රත්නායක මහත්තයා කියන්නේ අඩු පාඩු සහිතව උනත් සම්මත කරන්න සහය දෙනවා කියලා. ඔහුට තිබුණ ප‍්‍රශ්නේ තමයි මේ හැඳිනුම්පට අදාල ටෙන්ඩරයෙන් කව්රුහරි හොරා කයිද කියන එක. ඒක තමයි ජවිපෙට තියෙන ප‍්‍රශ්නේ.

මේක ප‍්‍රජාතතන්ත‍්‍රවාදය සම්බන්ද මහා පාවා දීමක්.

අපි එදා 2014 දී අපේ අජිත් කුමාර සහෝදරයා සියලූ දෙනා දැණුවත් කළා. වෙනම පාර්ලිමේන්තු විවාදයක් ගත්තා. හාස්‍යජනකම කාරණය නම් එදා අපි ඉල්ලපු විවද යෝජනාව සම්මත කළේ එක්සත් ජාතික පක්ෂය.

අද ඔවුන් විසින්ම මේ පනත සම්මත කරලා තියෙනවා.

අඩුම තරමේ මේ අය මේ පිළිබඳව ලෝකයේ වෙන සංවාද ගැන වත් දක්නේ නෑ. මීට අවුරුදු 04 කට කලින් ප‍්‍රංශයේ මෙවැන් පනතක් ගෙනවා. ඊට විරුද්ධව මානව හිමිකම් සංවිධාන පුරවැසි සංවිධාන මේක පරාජය කළා. පින්ලන්තයේ මේක ගෙනල්ලා අන්තිමට ආණ්ඩුව කිව්වා කැමති අය දෙන්න කියලා. අවුරුදු 05 ක් ගිහිල්ලා 1%ක් ඇඟිලි සලකුණු දුන්නේ. ඉතාලියේ ගෙනල්ලා මේක එහි එකම නගර සභාවකදී විතරයි සම්මත වුනේ. ඇමරිකාවේ දේශපේ‍්‍රමී පනත කියලා ගෙනල්ලා ඒකට විරුද්ධව විශාල විරෝධයක් ආවා. දැන් එන හැම මැතිවරණයකදී ජනතාවගේ ප‍්‍රධාන ඉල්ලීමක් මේක අහෝසි කරන එක.

දැන් ලෝකේ සංකල්ප දෙකක් තියෙනාවා. ආණ්ඩුකරණය හා ආණ්ඩුමට්ටු කරණය කියලා. ඒ වගේම ජනගහනය හා ජනතාව කියලා කොට්ඨෂ දෙකක් තියෙනවා.

අපේ ව්‍යාපෘතිය නිකම් ගනන්කළ හැකි අදේශපාලනික ජන ගහනයක් නෙවෙයි සවිඥානික ජනතාවක්.

තොරතුරු දැනගැනීමේ පනත ගැනත් තියෙන්නේ මේ කතාවමයි.

මේ පනතේ තියෙනවා ජාතික ආරක්ෂාව භෞමික අඛණ්ඩතාවට රාජ්‍ය ආරක්ෂාවට හානිකර තොරතුරු දෙන්නෙ නෑ කියලා. මේ අනුව ඕන එකක් මේ යටතට ගන්න පුළුවන් මේවා ගැන කිසිම පැහැදිළිකිරීමක් මෙහි නෑ.

ඒ වගේම ජාත්‍යන්තර ගිවිසුම් ගැන අවුරුදු 10ක් ගිහිල්ලත් තොරතුරු ගන්න බෑ.

දැන් උදාහරණයක් විධියට මට ඕන උනොත් ලලිත් කුගන් පැහැරගැනීමේදී අච්චුවේලි පොලිසිය මොකක්ද කළේ කියලා. එතනදි ඔවුන් කියයි රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ තොරතුරු කියලා ඒවා දෙන්න බෑ කියලා. ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීම ගැන අහන්න ගියොත් එතනදීත් ඒකම කියයි. මට ඕන වුනොත් වෘත්තියකයන්ට බලපාන එට්කා වගේ ගිවිසුමක් ගැන තොරතුරු ගන්න එතකොට ඒ අය ජාත්‍යන්තර ගිවිසුම් වල තොරතුරු දෙන්න බෑ කියලා. අඩුම තරමේ මම පාවිච්චි කරන දන්තාලේපයක් ගත්තොත් ඒකෙ හර්බල් කියලා තියෙනවා මට ඕන ඇත්තටම හර්බල් මේකේ තියෙනවාද කියලා දැනගන්න එතකොට සමාගම් වල රහස් කියලා ඒවා දෙන්න බෑ කියලා.

අඩුම තරමින් මේ ගැන පහුගියකාලේ කරු ජයසූරිය මහත්තයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එක ඒකයි මේකයි අතරත් ලොකු වෙනස් කම් තියෙනවා.

ඒ වගේම මෙහි 31 වගන්තිය යටතේ තියෙනවා මේ පනත අනුව ලබා ගන්න තොරතුරු ප‍්‍රකාශයට පත් කිරීමේ බාධා තියෙනවා.

ඉතින් ප‍්‍රකාශයට පත් කරන්න බැරි නම් මොකක්ද මේක තොරතුරු දැනගැනීමේ පනතක් කියන්නේ. මේක ඉතා පැහැදිළිව මාධ්‍ය මර්දනයක්.

දැන් මේව ඇහුවම කියනවා අර කියපු විස්තර කිරීම් අයත් වෙන්නේ රෙගුලේෂන් වල කියලා. ඒ කියන්නේ මේකෙ හරියටම තියෙන්නේ මොකක්ද කියලා දන්නෙත් නැතිවයි එජාපය, ජවිපෙ, ද්‍රවිඩ සන්ධානය එකතුවෙලා මේක සම්මත කරලා තියෙන්නේ. දැන් තියෙන්නේ හවුල් ආණ්ඩුවක් එක්ක හවුල් විපක්ෂයක්.

ඒ නිසා මේ වෙනුවෙන් ජනතා බලයක් එලියෙන් ගොඩනගන්න ඕන.

මේ අය අතුරු අය වැයටත් අත ඉස්සුවා. ඖෂධ අධිකාරි පනතටත් අත ඉස්සුවා දැන් පේනවානේ ඖෂධ වලට මොකද වෙලා තියෙන්නේ කියලා. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි විකිණීමටත් මේ හැමෝම අත ඉස්සුවා.

දැන් විගනන පනතක් කියලා එකක් එනවා ඒකෙ තිබුණු වගන්ති 20 සම්පුර්ණයෙන්ම අයින් කරලා කියලයි අපට ආරංචි වෙලා තියෙනවා.

මේ නිසා මේගැන දැණුවත්ව ජනතාව පාර්ලිමේන්තුවට බාර නොදී මහ පාරේ මේවා පරාජය කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි ජනතාව සංවිධානය කරනවා.

වීඩියෝව සදහා පහත සබඳියාවට පිවිසෙන්න

https://www.youtube.com/watch?time_continue=1&v=gch6bbKQHBI