ට්‍රම්ප් දිවුරුම් දුන් පසුව 200ක් අත්අඩංගුවේ!

අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් වොෂින්ටන්හි විරෝධතා පැවැත්වූ පුද්ගලයන් 200ක් පමණ අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ව්‍යාපාර සමූහයේ කාර්යාලය පිහිටි ට්‍රම්ප් කුළුණ ආසන්නයේ අඩිපාර අවහිර කළැයි චෝදනා පිට නිව්යෝර්ක්හි දී හත් දෙදෙනක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.  සැන් ෆ්‍රැන්සිස්කෝහි උද්ඝෝෂණය කළ පිරිස බාධක යොදා   දුම්රිය මාර්ගය අවහිර කරන්නට අට දෙනෙකුද අත්අඩංගුවට අත්අඩංගුවට ගන්නා ලදී.  අගනුවරදී විරෝධතාකරුවන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙද්දී තවත් ප්‍රදේශ කිහිපයක ජනයා සාමකාමීව සිය ට්‍රම්ප් විරෝධී සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කළහ. ට්‍රම්ප් දිවුරුම් දීම තම රටේ ඉතිහාසයේ අඳුරුතම දවසක් ලෙස දක්වමින්  75 හැවිරිදි අමෙරිකානුවකු ලොස් ඇන්ජලීස්හි දී කළ ප්‍රකාශයක් එරට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

කළු ඇඳුම් ඇඳ  මුහුණු ආවරණය කර සිටි විරෝධතාකාරුවෝ පොලිසියට ගල් ගසමින් ප්‍රචණ්ඩ ලෙස සිය විරෝධය පළ කළහ.  ඔවුන් විසිරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ වෙනත් ක්‍රමවේද අනුගමනය කළේය.  උද්ඝෝෂණය අතරතුර පොලිසියේ හය දෙනෙක් උද්ඝෝෂකයන්ගෙන් පහර කා සුළු තුවාල ලැබූහ.

නොවැම්බර් 8 වැනි දා පැවැති ජනපතිවරණයෙන් කොට්ඨාස 538 කින් 306 ක් ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප් සමත් වූ අතර ඇමරිකාවේ 45 වැනි ජනපතිවරයා ලෙස දිවුරුම් දුන්නේය.  ඇමෙරිකාවේ නව ජනපති ලෙස පත් වූ බිලියනපති ව්‍යාපාරිකයකු වන ට්‍රම්ප් 1946 ජූනි 14 වැනිදා නිව්යෝක් නුවර ක්වීන්ස් හිදී උපත ලැබීය. මේ වනවිට 70 වැනි වියේ පසුවෙන ඔහු 1968 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යා උපාධිය හදාරා 1971දී තම පවුලේ ව්‍යාපාර වලට සම්බන්ධ වූවේය. ට්‍රම්ප් ව්‍යාපාරයේ සභාපති ලෙස 1973 දී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මැන්හැටන් හි ‘ට්‍රම්ප් ටවර් ‘ වෙළඳ සංකීර්ණය නිර්මාණය කළේය. ලොව පුරා ගෝල්ෆ් ක්‍රීඩා පිටි 18 ක් පමණ ඔහු සතුව පවතී. ෆෝබ්ස් සඟරාව කළ සමීක්ෂණයකට අනුව ඔහු බිලියනපති ව්‍යාපාරිකයන් අතරින් ලොව 324 වැනියා ය. ඔහු එන්බීසී රූපවාහිනීයේ විධායක නිෂ්පාදකවරයෙකු ලෙසද කලක් සේවය කළේය.

ඔහු 2000 වසරේ රිෆෝම්ස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ලෙස අයැදුම් කළ අතර පක්ෂයේ මත ගැටුම් හේතුවෙන් ජනපති තරඟයෙන් ඉවත් විය.ඔහු 2012 ජනාධිපතිවරණයටද තරඟ කිරීමට සුදානමින් සිටියද ඉන් ඉවත් වීමට පසුව තීරණය කළේය. ට්‍රම්ප් මහතා 2016 ජනාධිපතිවරණයට රිපබ්ලිකන් පක්ෂයෙන් තරඟ කරන බව 2015 ජූනි මාසයේදී නිවේදනය කළේය.

2016 ජනපතිවරණයේ අපේක්ෂකත්වය සඳහා රිපබ්ලිකන් පක්ෂයෙන් 17 දෙනකු ඉදිරිපත් වූ අතර සුළු කාලයකදී එම 17 දෙනා අතර කැපී පෙනෙන චරිතයක් බවට පත්වීමට ට්‍රම්ප්ට හැකි විය. ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයන් බොහෝ දෙනා තම මැතිවරණ ව්‍යාපාර අතරමගදී අත්හැර දැමු අතර 2016 මැයි මාසයේදී රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය ලබා ගැනීමට ට්‍රම්ප්ට හැකි විය.