ආණ්ඩුව නිළ නිවේදන නිකුත් කරමින් සයිටම් ගැටලුවට විසදුම් දෙන බව කියමින් පෙර ඉදිරිපත් කරන ලද යෝජනාවලියම ඉදිරිපත් කර ඇති බවත් සහ එහි SAITM ආයතනය අහෝසි කිරීමට අදාළ කිසිදු යෝජනාවක් නොමැති බවත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු ලහිරු වීරසේකර පවසයි.
ආණ්ඩුව මැදිහත් වී SAITM ආයතනය රැක ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවලියට කිසිදු එකගතාවයක් පළ නොකරන බවත් ඔහු කියා සිටින ලදි. මැයි 17වැනි දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව එක්ව සංවිධානය කරන සයිටම් විරෝධී දැවැන්ත පා ගමන පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරු මෙලෙස අදහස් පළ කරන ලදි.
SAITM අහෝසි කිරීම, සරසවි බදවා ගැනීම් ඉහළ දැමීම සහ පුරප්පාඩු පිරවීම, අධ්‍යාපනයට 6% වෙන් කිරීම, පාසල් තුළ මුදල් අයකිරීම නැවත්වීම, විශ්‍රාම වැටුප් කාප්පාදුව අහෝසි කිරීම, රාජ්‍ය ආයතන විකිණීම නතර කිරීම, ETCA ගිවිසුමට විරෝධය ඵල කිරීම සහ තවත් ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් එළඹෙන 17 වැනි දින දැවැන්ත විරෝධතා පා ගමනක් සංවිධානය කරන බවත් ඉදිරියේදී තවත් සමාජ බලවේග මෙම සටනට ඒකාරාශි කර ගනිමින් දැවැන්ත විරෝධතා ගණනාවක් සුදානම් කිරීමට බලාපොරොත්තු වන අතර මේ වන විටත් විවිධ දිස්ත්‍රික්ක තුළ පවත්වන රැලි සහ සම්මන්ත්‍රණ ගණනාවක් වෙත මර්දනය කැඳවීමට ආණ්ඩුව කටයුතු කරන බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට බෝම්බ ගසා මෙම සටන නතර කිරීමට නොහැකි බවත් හැකි නම් 17වන දින බෝම්බ ගසා හෝ වෙඩි තබා මෙම සටන නතර කිරීමට උත්සාහ කරන ලෙසත් නැතිනම් කොන්ද පන ඇති නායකයන් සේ ඉදිරියට විත් තමන් පෙන්වා දෙන සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන ලෙසටත් ආණ්ඩුවට අභියෝග කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
ලහිරු වීරසේකර අදහස් දක්වන හඬ පටය පහතින්