தமிழ்
English
Contact
Saturday 14th October 2017    
නරේන්ද්‍ර මෝඩි දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයාද? « Lanka Views | Views of the truth

නරේන්ද්‍ර මෝඩි දෙමළ ජනතාවගේ ගැලවුම්කාරයාද?



හැටන් දික්ඔය රෝහල සදහා ඉන්දිය ආධාර ඇතිව ඉදිකළ නව ගොඩනැගිලි සංකීර්ණයක් විවෘත කළ අවස්ථාවේ ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි රැස්ව සිටි දහස් ගණනක් වතුකම්කරු ජනතාව අමතා කතා කලේ ඉංග්‍රීසි බසිනි. ඔහු කීවේ ලෝකයේ තේ අපනයනයන් තුන්වැනි තැන ලංකාවට හිමිකරදීම ගැන දෙමළ ජනතාව ආඩම්බර වියයුතු බවයි. එපමණක් නොව, ලෝකයේ සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයකු බිහිකිරීම ගැනද ඔවුන් ආඩම්බර වියයුතු බව ඉන්දිය අගමැතිවරයා ප්‍රකාශ කළේය.

නරේන්ද්‍ර මෝඩි මෙවැනි ප්‍රකශයක් කළේ එක් අතකින් ඉන්දිය සම්භවයක් ඇති දෙමළ ජනතාව ආශ්වාදයට හා ආවේගයට පත්කර තබන්නට වියයුතුය‍. එහෙත් තේ අපනයනයෙන් ඉහළ තැනකට පැමිණීම පිණිස වතුකම්කරු ජනයා සිදුකරණ වහල් සේවය ගැන ඔහුට කිසිදු අවධානයක්තිබුණේ නැත. වතුකරයේ දෙමළ ජනතාවගේ නායකයා ලෙස සෞම්‍යමූර්ති තොණ්ඩමන් ගැන සිහිපත් කළ මෝඩි, මැතිවරණවලදී එම ජනයාගේ ඡන්ද පෙන්වමින් දේශපාලන බලක්‍රීඩාවේ යෙදුනා මිස ඔවුන්ගේ ජීවිතය ඔසවා තබන්නට කිසිවක් නොකළ බව මෝඩි පැවසුවේ නැත. කෙසේවෙතත් මෝඩිගේ කතාවේදී තොණ්ඩමන්ගේ නම කියු විට ඔල්වරසන් දෙන්නට පිරිසක් කටයුතු කළ බව දක්නට ලැබිණි. දෙදින සංචාරයකට පැමිණි ඉන්දිය අගමැතිවරයා ලංකාවේ දෙමළ ජනතාවගේ ඡන්ද පදනම් කරගෙන දේශපාලනය කරන නායකයන් හමු වී සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති බව වාර්තා වේ.

ආණ්ඩුවේ නායකයන් සමග පැවැත්වූ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවලට අමතරව දෙමළ සන්ධානය, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සමග සිදුකළ සාකච්ඡා පිළිබද ජනමාධ්‍ය වෙත කරුනු හෙළිදරව් වූයේ අල්ප වශයෙනි. ඉන්දිය අගමැතිවරයා කටුනායක ගුවන්තොටුපලින් පිටත්ව යාමට සුලු මොහොතකට පෙර එහි ගොස් සාකච්ඡාවක නිරත වූ බවට දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් පවසා තිබේ. දෙරටට අදාළ පොදු කරුනු එහිදී සාකච්ඡාවට ලක්ව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබේ. කෙසේවෙතත් සම්බන්ධන් පවසන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සකස්කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව මෝඩි සමග අදහස් හුවමාරු කරගත් බවයි. මෙම අවස්ථාවට උතුරු පළාත් මහඇමති විග්නේශ්වරන් සහභාගිවී නොවීම විශේෂත්වයකි. කෙසේවෙතත් ඉන්දිය අගමැතිවරයා වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රහයට උතුරේ මහඇමතිවරයා සහභාගි විය. දෙමළ ජාතික සන්ධානයේ ඩී සිද්ධාර්ථන් පවසන්නේ ලංකාවේ දෙමළ ජනතාවට බලපාන කරුනු පිළිබද ඉන්දිය අගමැතිවරයා සමග සාකච්ඡා කළ බවයි.

කෙසේවෙතත් මේ දිනවල මෙරට දෙමළ ජනතාව තවමත් මුහුණ දෙන මර්දනය, මිලිටරිවාදයේ බලපෑම, ඉඩම් කොල්ලකෑම, ඉන්දිය ධීවරයන්ගේ බලහත්කාරී කටයුතු පිළිබද කිසිවකු සාකච්ඡා කළ බවක් වාර්තා වී නැත. ඉන්දිය ආධාර ඇතිව ඉදිකරන නිවාස පිළිබදව ප්‍රශ්නය පමණක් ඉන්දිය අගමැතිවරයාගේ අවධානයට ලක්ව තිබිණි. එසේ වුවද වතුකරයේ දෙමළ ජනතාව තවමත් පැරණි පන්නයේ යටත්වැසි පාලනයක තබාගැනීම සහ ඊට එරෙහිව ඉඩම් ලබා දෙනු, ස්ථිර මාසික වැටුපක් ලබා දෙනු වැනි ඉල්ලීඹ් සම්බන්ධව ඉන්දිය අගමැතිවරයාගේ අවධානයට ලක්වූයේ නැත.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු ශ්‍රී ලාංකිකයින්ට ජාත්‍යන්තර වෙසක් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තමාට ආරාධනා කිරීම ගැන බෙහෙවින් ස්තූතිවන්ත වන බව කොළඹ පැවැති එක්සත් ජාතින්ගේ වෙසක් දින උත්සවයේදී කියා සිටියේය. ඉන්දු-ශ්‍රී ලංකා බැඳීම් තරකරගනු වස් මෙම අවස්ථාව ඉතාම වැදගත් බව තමන් විශ්වාස කරන බවත්, එවැනි මොහොතකදී පළ කළ යුතු සාම්ප්‍රදායික අදහස් ඔහු විසින් පවසා තිබිණි.

ඉක්මන් පියවර තබමින් පියගැට නැග ඉන්දිය රාජ්‍යනායකයාට හිමි විශේෂ නිල ගුවන්යානයට ඇතුළුවන්නට පෙර නරේන්දු මෝඩි ගුවන්තොටුපළේ රැස්ව සිටිවුන්ට අතවනා ආචාර කළේය. ඔහුගේ ලංකා සංචාරය තුළ අපේක්ෂා කළ රාජ්‍යතාන්ත්‍රික ඉලක්ක සම්පූර්ණ කරගත්තා වියයුතුය‍

එහෙත් ලංකාවේ දෙමළ ජනතාව නියෝජනය කරනවා යැයි කියන නායකයන් සමග ඔහු ගෙන යන දේශපාලන ක්‍රීඩාව සම්පූර්ණවන්නේ කෙසේදැයි ඉදිරියට විමසිලිමත්ව බලා සිටිය යුතුව ඇත.




Related News