සයිටම් අර්බුදය පිළිබඳ අඩ බෙර ගසා දුන් ආණ්ඩුවේ තීරණ මෙන්න!

වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තහවුරු කිරීමට බව පවසමින් රජයෙන් එළඹුණු ප්‍රතිපත්තිමය තීරණ මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තහේන්තුවේ පැවැති ජනමාධ්‍ය හමුවකදී ප්‍රකාශයට පත්ව තිබේ.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ කරුනු හෙලිදරව් කරණ ලදී. ඔහුට අනුව මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් හා අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ පහත පරිදි වේ.

  • වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීම සඳහා නියමිත අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීම

  • මෙරට ලියාපදිංචි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවල අධ්‍යාපන මට්ටම, පරිපාලනය හා කළමනාකාරීත්වය පිළිබඳ නිශ්චිත තත්ත්වයක් හා ප්‍රමිතියක් පවත්වාගෙන යාම අනිවාර්යය කිරීම සහ මේ සෑම ආයතනයක් ම කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් හැටියටත්, පාලක මණ්ඩලයක පාලනයට යටත් ම ක්‍රියාත්මක කරවීම මගින් ජනතා හිමිකාරීත්වය සතු ආයතන බවට ඒවා පත් කිරීම

  • වෛද්‍ය උපාධියට අදාළ අවසන් පරීක්ෂණය සමත් “සයිටම්” සිසුන් හට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම

  • ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC)  අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්යය කිරීම

  • “සයිටම්” ආයතනයට අදාළ රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් ඒ සඳහා අලුතින් සිසුන් බඳවා ගැනීම අත්හිටුවීම

  • නවීන පහසුකම්වලින් සමන්විත “වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල” රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීම

  • රජයේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමේ වරම් නොලබන සිසුන්ට මෙරටදී ම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සඳහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහාය ලබාගැනීම

  • පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් මෙරට සිසුන් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩිකිරීම සඳහා අදාළ ආයතන වෙත උපදෙස් ලබාදීම

  • රාජ්‍ය විශ්වවිද්‍යාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර රජයේ වෛද්‍ය පීඨ සඳහා බඳවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීම හා නව වෛද්‍ය පීඨයක් ඇරඹීම