ගෝලීය උණුසුම සහ මිනිස් සංහතිය මුහුණපාන අන්තරායන්…

paris summit1

මිනිස් සංහතියේ පැවැත්ම සම්බන්ධ තීරණාත්මක අර්බුද දෙකක් අද වන විට අප ඉදිරියේ පැන නැගී තිබේ. පළමුවැන්න තෙවන ලෝක යුද්ධයක අවදානමයි. ගෝලීය උණුසුම නැතිනම් මිහිතලය උණුසුම් වීම දෙවැන්නය.

නිදසුනක් ලෙස,

පසුගිය වසර 100 ගත් විට පෘථිවි තලයෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක  0.8  කින් ඉහළ ගොස් තිබේ. පවතින තත්වය වෙනස් නොවුනහොත් ඉදිරි ශත වර්ෂය තුළ සෙල්සියස් අංශක 4-7ත් අතර ප‍්‍රමාණයකින් ඉහළ යා හැකි බව ක්ෂේත‍්‍රය පිළිබද පර්යේෂකයෝ අවධාරණය කරති. දැනටමත් වාර්තා වෙමින් පවතින බිහිසුණු කාළගුණ විපර්යාස, වසංගත රෝග ව්‍යාප්තිය, ආහාරදාමයන්හි බිද වැටීම සහ සාගර ජල මට්ටම ඉහළ යාම මෙන්ම ලවණකරනය ආදී අන්තරායන් දෙස බැලූ විට ඉහත කී පුරෝකථනය අතිශයින්ම බිහිසුණු තත්වයක් බව නොකිව මනාය. නිදසුනක් ලෙස කැලිෆෝනියාව සහ සහ මධ්‍යම අමෙරිකාවට බලපා ඇති දිගු කාලීන දරුණු නියගය හේතු කොට ගෙන මිලියන 3ක්  ඉක්මවන ජනකායක් ආහාර සහ පානීය ජලය පිළිබද බරපතළ ගැටළුවලට මුහුණ පා සිටිති.

එමෙන්ම පසුගිය ග‍්‍රීෂ්ම සෘතුවෙහිදී  ඉන්දියාවෙන් සහ සහ පාකිසථානයෙන් වාර්තා වූ උණුසුම් වායු ධාරාවන් තවත් බරපතළ ව්‍යසනයකි. ඉන් මිය ගිය සංඛ්‍යාව පමණක් පන්දහසකට ආසන්නය. එක්සත් ජනපදය මෙන්ම පිලිපීනය ආදී කලාපවලින් වාර්තාවන ප‍්‍රචණ්ඩ කුණාටු තවත් නිදසුනකි. මිලියන් ගණන් ජනයා අවතැන් වීම මෙන්ම ආහාර බෝග විනාශය ඒවායේ සෘජු  ප‍්‍රතිඵලයන්ය. පෘථිවි තලයෙහි උෂ්ණත්වය ඉහළයාමට සබැඳිව ධ‍්‍රැවයන්හි අයිස් තට්ටුද වේගයෙන් දියවෙමින් පවතින බව නිරීක්ෂකයෝ පවසති. එහි ප‍්‍රතිඵලයක් ලෙස, පසුගිය වසර සියය තුළදී සාගර ජල මට්ටම අඟල් 6-8 ප‍්‍රමාණයකින් ඉහළ ගොස් තිබේ. මේ ප‍්‍රවණතාව එලෙසම පැවතියහොත් ඉදිරි වසර සියය තුළදී එය තවත් අඟල් 39ක් දක්වා ඉහළ යාමට නියමිතය. එමගින් සාගරයෙහි මෙන්ම වෙරළබඩ කලාපයන්හි පාරිසරික තුල්‍යතාව බරපතළ ලෙස බිඳවැටෙමින් පවතී. එමතුද නොව ෆීජි,  කිරිබාති, මාලදිවයින්, පාලාවු, මයික්‍රොනිසියා, කේප් වර්ඬේ, තුවාළු ආදී දූපත් ගණනාවක් සාගර ජලයෙන් යටවීමේ අවදානමටද ලක්ව තිබේ. එමගින් ලොව පුරා වෙරළබඩ වෙසෙන මිලියන 150 කට වැඩි ජනකායකට මෙන්ම සත්ව සහ ශාක ප‍්‍රජාවන්ට තම පැවැත්ම  පිළිබද බරපතළ තර්ජනයන් එල්ල වනු ඇත.

මිහිතලය උණුසුම්වීම සඳහා බලපා ඇති මූලික සාධකය වනුයේ ඉතා ඉහළ ප‍්‍රතිශතයකින් වායුගෝලයට කාබන් මුදා හැරීමය. හවායිහි මවුනා ලෝආ හි පිහිටා ඇති පර්යේෂණාගාරය කියා සිටින පරිදි  1961 සිට වායුගෝලයේ ඇති ඣ2 ප‍්‍රමාණය දස ලක්ෂයකට කොටස් 318 සිට 392 දක්වා ඉහළ ගොස් තිබේ. මෙය පූර්ව කාර්මික යුගයෙහි පැවැති මට්ටමට වඩා 27%ක වැඩිවීමකි. එමෙන්ම පසුගිය වසර 650000ක ඉතිහාසය තුළ වාර්තා වූ ඉහළම අගයද එයයි. මේ සදහා ප‍්‍රබල දායකත්වයක් සපයනුයේ ෆොසිල ඉන්ධන දහනයයි. ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එහි අගය 87% කි.

ඊට අමතරව, වන විනාශය 9%ක සහ සෙසු සාධක  4%ක දායකත්වයක් සපයයි. මෙහිදී පැහැදිලි කළ යුතු තවත් විශේෂිත කාරණාවක් තිබේ. ගැටලූවෙහි කේන්ද්‍රයද එයයි. එනම් කාබන් විමෝචනය සම්බන්ධව ඉතාම ඉහළ දායකත්වයක් සපයනුයේ චීනය (24%), එ.ජනපදය (12%), යුරෝපය (9%), ඉන්දියාව (6%), බ‍්‍රසීලය (6%), රුසියාව (5%) ජපානය (3%) සහ  කැනඩාව (2%) යන රාජ්‍යයන්ය.

ලෝකය පුරා විවිධ පාරිසරික සංවිධාන මෙන්ම වාමාංශිකයන් කාලාන්තරයක් තිස්සේ ගෙන ගිය උද්ඝෝෂණ හේතුවෙන් මිහිතලය උණුසුම්වීම සම්බන්ධව අද වන විට කිසියම් ආකාරයක කතිකාවක් ගොඩ නැගී තිබේ. විශේෂයෙන්ම සාගර ජලයෙන් යටවීමට නියමිත දූපත්වාසීන් මෙන්ම සමකාසන්න කලාපයන්හි ජනයා  ඉහත කී ප‍්‍රමුඛ කාබන් විමෝචක රාජ්‍යයන්යන්ගෙන් ඉල්ලා සිටිනුයේ තත්වය වහාම පාලනය කරන ලෙසයි. සැබැවින්ම එය සමස්ත පෘථිවි ගෝලයේ ජීවය පිළිබද ප‍්‍රශ්නයකි.

පසුගිය නොවැම්බර් 30 දින ඇරඹී මේ දිනවල පැරීසියේ පැවැත්වෙන කාලගුණ වෙනස්වීම් පිළිබද එක්සත් ජාතීන්ගේ සමුළුවෙහි ප‍්‍රධාන තේමාවද මෙයයි. ඊට රටවල් සහ විවිධ සංවිධාන නියෝජනය කරමින් 25000ක පමණ නියෝජිතයන් පිරිසක් එක්ව සිටිති. සමුළුව තුළ ප‍්‍රධාන ලෙස අවධාරණය කෙරෙනුයේ ඉහළයමින් පවතින මිහිතල උණුසුම පාලනය කිරීමට අදාළ පුළුල් එකගතාවක් ගොඩනැගීමය. මෙය අළුත් මාතෘකාවක් නොවන බව කිව යුතුය. 70 දශකයේ සිට මේ පිළිබදව සාකච්ඡුා වෙමින් පවතී. නමුත් මූලික ගැටලූව වනුයේ ප‍්‍රධාන කාබන් විමෝචක රාජ්‍යයන් එවැන්නකට එකඟ නොවීමය. අවම වශයෙන් මෙම ශත වර්ෂය තුළ මිහිතලය උණුසුම් වීම 2දක්‍ ක සීමාවෙහි නවත්වා ගත යුතු බව සමුළුවට යෝජනා වී තිබේ.

එය කිසිසේත්ම ප‍්‍රමාණවත් සීමාවක් නොවන බව කිව යුතුය. දැනටමත් තර්ජන එල්ල වී ඇති දූපත් රාජ්‍යයන්හි තත්වය තවත් බරපතළ කරවීමට එම සීමාවද ප‍්‍රමාණවත්ය. පවතින විනාශකාරී කාලගුණ විපර්යාසයන් සම්බන්ධ තත්වයද එයමය. ඒ නිසාම ඉහත කී දූපත් රාජ්‍යයෝ අදාළ සීමාව 1ග5දක්‍ විය යුතු බවට උද්ඝෝෂණය කරමින් සිටිති. නමුත් ගැටලූව වනුයේ 2දක්‍ සීමාව පිළිබදවද තවමත් එකඟතාවක් නොමැති වීමය.

අපගේ ඇස් පනාපිට ලෝකය වැනසෙමින් පවතී. සියල්ලෝම ඒ පිළිබඳව ඇති පමණින් දනිති. සාකච්ඡුා කරති. නමුත් එය වළක්වා ගැනීමෙහි අපොහොසත්ය. මනුෂ්‍යත්වයේ පැවැත්මට වඩා ප‍්‍රාග්ධනයේ ලේ පිපාසය එතරම්ම බලවත්ය.

ගාමිණී හෙට්ටිපතිරගේ