ඊයේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය
ආණ්ඩුවේ ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිරුවත පෙනේ!
මර්දනය නවතනු- ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ලබා දෙනු!
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවේ ජීවත් වීමට සහ දේශපාලන කටයුතු වල නිරත වීමට ඇති අයිතිය ලබා නොදීමට පමණක් නොව එම අයිතිය ඉල්ලා සිටින්නන්ට එරෙහිව මර්දනය දියත් කිරීමටද වත්මන් හවුල් ආණ්ඩුව කටයුතු කරමින් සිටී.
කුමාර් ගුණරත්නම් සහෝදරයා පිටුවහල් නොකරන ලෙසත් ඔහුව ලංකාවේ පුරවැසියෙකු ලෙස පිළිගන්නා ලෙසත් කොටුව දුම්රියපොළ ඉදිරියේ නොවැම්බර් 13 දින සිට අඛණ්ඩ විරෝධතාවයක් දියත් වන අතර ආණ්ඩුව පොලීසිය සහ අධිකරණය භාවිතා කර එම උද්ඝෝෂණය නතර කිරීමේ උත්සාහයක නිරතව සිටී. මෙම උද්ඝෝෂණය සඳහා අට්ටාලයක් ඉදි කිරීම සම්බන්ධයෙන් පොලීසිය අංක ඊ 3329/2015 යටතේ නඩුවක් පවරා ඇති අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක‍්‍රියාකාරීන්ට මෙන්ම කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ නැගණියට සහ තවත් වාමාංශික පක්ෂ ක‍්‍රියාකාරීන්ට 18 වැනිදා උදෑසන අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. දුමින්ද නාගමුව, ධර්මසිරි ලංකාපේලි, නිරන්ජනී ගුණරත්නම්, අජිත් කුමාර සහ සංජීව බණ්ඩාර යන සහෝදර සහෝදරියන්ට මෙසේ අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.
මෙම ආණ්ඩුව බලයට පත්වුයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබඳ දහසකුත් එකක් පොරොන්දු ලබා දෙමිනි. පසුගිය ආණ්ඩු සමයේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවිරෝධී තත්වය තුළ රට හැර යාමට බල කෙරුණු සහ නැවත ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින අයට යලි පැමිණෙන ලෙස ආරාධනා කෙරිණි. එහෙත් එම ආරාධනාව වලංගු වන්නේ ආණ්ඩුවේ දේශපාලන හිතවතුන්ට සහ ආණ්ඩුවට අනුකූලතාව ප‍්‍රකාශ කරන්නන්ට පමණක් බව දිනෙන් දින පැහැදිලි වෙමින් පවතී.
හාස්‍යජනක කාරණය වන්නේ ජනාධිපතිවරයා විසින් දෙදහසකට ද්විත්ව පුරවැසි භාවය පිරිනැමීමේ උත්සවයකදී රට හැර ගිය සියල්ලන්ට නැවත සියරට පැමිණෙන ලෙස යලිත් ආරාධනා කල දිනයේම ද්විත්ව පුරවැසිභාවය නොව අනෙකුත් රටවල පුරවැසිභාවය අවලංගු කර ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය තහවුරු කරන ලෙස ඉල්ලන අයෙකු වෙනුවෙන් වන උද්ඝෝෂණයකට මර්දනය දියත් කිරීමයි. ආණ්ඩුවේ නායකයන් වේදිකා වල කියන කතා සහ ඔවුන්ගේ භාවිතාව අතර පරතරය ඉතා පැහැදිලිව නිරුවත් වෙමින් තිබේ.
කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ ප‍්‍රශ්නය පිලිබඳ ආණ්ඩුවේ ස්ථාවරය විමසීම සඳහා අප ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් සාකච්ඡුාවක් ඉල්ලූ අතර ජනාධිපතිවරයා තවම ප‍්‍රතිචාර දක්වා නැත. අගමැතිවරයා ඉක්මනින් සාකච්ඡුාවක් ලබා දෙන බවට මාධ්‍ය වලට ප‍්‍රකාශ නිකුත් කිරීමට හදිසි වූ නමුත් තවමත් එවැනි සාකච්ඡුාවක් ලබා දී නැත. උද්ඝෝෂණ තහනම් කිරීමේ අධිකරණ නියෝග ලබා ගන්නේ ඒ අතරය. වත්මන් පාලකයන් බලයට ඒම සඳහා භාවිතා කල ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිලිබඳ සටන් පාඨ කෙතරම් ව්‍යාජදැයි ජනතාව මෙම සිදුවීම් හරහා වටහා ගනු ඇතැයි අපි විශ්වාස කරමු. මෙතෙක් නිහඬව සිටි ආණ්ඩුවේ දත් සහ නිය ප‍්‍රදර්ශනය වෙමින් තිබේ.
ජනතාවගේ අයිතීන් මර්දනය කිරීම සඳහා නීතිය අවියක් ලස භාවිතා කරන ආකාරය ආණ්ඩුව අත්හදා බලමින් සිටින අතර ඉදිරියේදී එම අත්දැකීම මත පදනම්ව සියලූ සටන්කාමී බලවේග වලට නීතියේ දවටනයක ඔතා මර්දනය දියත් කරනු ඇත. පාලකයන්ගේ මර්දනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් කරන අපේ සටන පසුබැස්වීමට සමත් නොවන මුත් අන් බලවේග මර්දනය කිරීමේ ක‍්‍රමවේද ඉගෙන ගැනීම සඳහා අපව පාවිච්චි කිරීමට ඉඩ දීමටද අප සූදානම් නැත. මෙම අවදානම් සහගත තත්වය පිලිබඳ අවධානය යොමු කරන ලෙසද, මර්දනයට එරෙහිව සටන් කරන කොටස් ආරක්ෂා කිරීමට පෙරට එන ලෙසද, ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් දිනා ගැනීම සඳහා සටන් වදින ලෙසද ලාංකේය ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2015 නොවැම්බර් 17