පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අද දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සදහන් වන්නේ කුමාර් ගුණරත්නම් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත මාස දෙකක් අද දින වනවිට ගතව ඇති බවයි. පහත පළ වන්නේ එම මාධ්‍ය නිවේදනයයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් සහෝදරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර රඳවා තබා ගැනීමට ජනවාරි 5වැනිදාට මාස දෙකක් සපිරේ. කුමාර් ගුණරත්නම් සහෝදරයා සිරගත කිරීම පිලිබඳ ප්‍රශ්නය පසුගිය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ මෙන්ම වත්මන් ආණ්ඩුව දෙන බවට පොරොන්දු වූ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ මුහුණුවර පිලිබඳ කදිම උදාහරණයකි. කුමාර් ගුණරත්නම් සහෝදරයාට ලංකාවෙන් පිටවී විදේශගත වීමට සිදුවුයේ එවකට පැවැති ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියාකලාපය නිසා බිහිවූ තර්ජනකාරී තත්වය තුල ජීවිතය බේරා ගැනීම සඳහාය. ලංකාවේ පුරවැසිභාවය අත හැරීමේ කිසිදු උවමනාවක් කුමාර් ගුණරත්නම් සහෝදරයාට හෝ එලෙස රටහැර ගිය අන් කිසිවෙකුට නොවිණි. වත්මන් ආණ්ඩුව බලය ලබා ගැනීම සඳහා වැඩිපුරම භාවිතා කළ සටන් පාඨයක් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වන අතර පසුගිය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා නිසා රට හැර යාමට සිදුවූ සියලු දෙනාට යලි ලංකාවට පැමිණෙන ලෙස ආණ්ඩුව පත්වූ විගස විවෘත ආරාධනාවක්ද කළේය. පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයාද ඇතුළුව ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් විපක්ෂය සමග එක්වීම නිසා මහින්ද රාජපක්ෂ පාලනය බරපතල අර්බුදයකට ගොදුරුවූ අතර යලි ලංකාවට පැමිණීම සඳහා එම අර්බුධය භාවිතා කිරීමට බොහෝ දෙනා බියවූ මුත් අපගේ අහිමිවූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ගෙන් කොටසක් හෝ උදුරා ගැනීම සඳහා අපි එම අවස්තාව භාවිත කළෙමු.
අපගේ අපේක්ෂාව වුයේ උද්ගතවූ නව දේශපාලන තත්වය තුල රටෙහි රැදී සිටිමින් යලි දේශපාලන කටයුතු වල නිරත වීමය. කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසිභාවය පිලිබඳ ප්‍රශ්නයක් නොතිබුනත් ආණ්ඩුව දිගින් දිගටම පුරවැසි භාවය පිලිබඳ ප්‍රශ්නයක් මතු කල නිසා පුරවැසි පනතේ 8වන වගන්තිය යටතේ එම සහෝදරයා ලංකාවේ පාරම්පරික පුරවැසිභාවය තහවුරු කරන ලෙස ඉල්ලා අයදුම්පතක් ඉදිරිපත් කරන ලදී. ඒ 2015 දෙසැම්බර් 18වැනිදාය. කිසියම් හේතුවක් නිසා වෙනත් රටක පුරවැසියෙකු වූ අයෙකුට යලි ලංකාවේ තමන්ගේ පාරම්පරික පුරවැසිභාවය තහවුරු කිරීමේ ප්‍රතිපාදන එම වගන්තියේ අඩංගුවේ. පුරවැසි පනතේ 8වන වගන්තියට අනුව පාරම්පරික පුරවැසිභාවය ලබා ගැනීම සඳහා ඇති එකම කොන්දේසි දෙක වන්නේ අනෙක් රටේ පුරවැසිභාවය අවලංගු කරගැනීමට කැමැත්ත පල කිරීමත් ලංකාවේ කාලයක් ජීවත් වීමත්ය. කුමාර් ගුණරත්නම් සහෝදරයා එම කොන්දේසි දෙක සපුරා තිබේ. නමුත් මැතිවරණයේදී කලින් පැවැති ප්‍රජාතන්ත්‍රවිරෝධී තත්වයෙන් පීඩාවට පත්වූවන්ට සාධාරණය ඉටු කිරීම ගැන පොරොන්දුවූ ආණ්ඩුව බලයට පත්වූ පසු එම පොරොන්දු අමුඅමුවේ උල්ලංඝනය කරමින් කුමාර් ගුණරත්නම් සහෝදරයාගේ පුරවැසි ඉල්ලුම්පත්‍රය ප්‍රතික්ෂේප කළා පමණක් නොව ඔහු අත්අඩංගුවට ගත්තේය.
ඔහුට පුරවැසිභාවය සඳහා සාධාරණ අයිතියක් ඇති බව ආණ්ඩුවේ විවිධ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ පිළිගන්නාමුත් පුරවැසිභාවය ලබා නොදී මේ ප්‍රශ්නය නිහඬතාවයේ කුමන්ත්‍රණයකින් යටපත් කිරීමේ උත්සාහයක සිටී. කුමාර් සහෝදරයාට අදාළ නොවන විදේශිකයන් පිලිබඳ නීති උපයෝගී කරගනිමින් ඔහුව අත්අඩංගුවට ගැනීමටත්, ඇප ලබා නොදී සිරගත කර තැබීමටත් ක්‍රියා කරන්නේ එහෙයිනි. පුරවැසි පනතට අනුව යම් අයෙකුට ලංකාවේ පුරවැසිභාවය ලබා දීමේ පූර්ණ බලතල ඇත්තේ අදාළ ඇමතිවරයාට සහ කැබිනට් මණ්ඩලය ඇතුළු දේශපාලන අධිකාරියටය. පනතට අනුව මෙම විෂයට අදාලව ඇමතිවරයා ගනු ලබන තීරණ කිසිදු අධිකරණයක ප්‍රශ්න කිරීම පවා කල නොහැකිය. එනිසා මෙය නීති ප්‍රශ්නයක් නොව දේශපාලන ප්‍රශ්නයක් වන අතර කුමාර් ගුණරත්නම් සහෝදරයාට පුරවැසිභාවය ලබා නොදීම අධිකරණයේ නොව ආණ්ඩුවේ දේශපාලන තීරණයකි. ආණ්ඩුව මෙලෙස හැසිරෙන්නේ දේශපාලන හේතු නිසා බවද තහවුරු වන්නේ මෙම නීති තර්ක අනෙකුත් අයට අදාලව ක්‍රියාත්මක නොකෙරෙන නිසාය. අර්ජුන් මහේන්ද්‍රන්ට දවසක් තුල පුරවැසි භාවය ලබාදී ඔහුට මහබැංකුවේ මුල් පුටුව ලබාදීම ඒ සඳහා එක් උදාහරණයකි. කුමාර් ගුණරත්නම් සහෝදරයාට පමණක් මෙලෙස පලිගැනීම් කරන්නේ ඔහු සහ ඔහු නියෝජනය කරන අප පක්ෂය ආණ්ඩුවට එරෙහි දේශපාලනයක් කිරීම නිසා බව පැහැදිලිය. මෙම අසාධාරණයට එරෙහිව දියත්වන අරගලයට සහය දෙන ලෙසද කුමාර් ගුණරත්නම් සහෝදරයාත් ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමිවූ සියලු දෙනාගේ අයිතීන් වෙනුවෙන් පෙරට එන ලෙසද අපි සමස්ත ලාංකේය ප්‍රගතිශීලී ජනතාවගෙන් ඉල්ලා සිටිමු.
දේශපාලන මණ්ඩලය
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2016 ජනවාරි 05