ඉන්දීය වැඩවර්ජනයේ පාඩම්

සැප්තැම්බර් 2වැනිදා පැවැත්වුණු අති සාර්ථක ඉන්දීය සමස්ත මහා වැඩවර්ජනය සඳහා මිලියන සිය ගණනක කම්කරුවන් සහභාගී විය. ඇතැම් වාර්තා පෙන්වා දෙන්නේ මිලියන 150ක් කම්කරුවන් එදින එක්දින සංකේත වැඩවර්ජනයට සහභාගී වූ බවයි. (ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 20ක් බවද සිහිපත් කර ගන්න) බැංකු, පාසල්, රජයේ කම්හල් සහ ප‍්‍රවාහන සේවා, තැපැල් සේවා, සන්නිවේදන සේවා, රක්ෂණ සේවා ආදී සියල්ල අඩපණ වූ අතර රට පුරා මෝඩි ආණ්ඩුවේ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ වලට එරෙහි උද්ඝෝෂණ පැවැත්වුණු බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

දකුණු ඉන්දියාවේ කේරල සහ කර්ණාටක ප‍්‍රාන්තත්, බටහිර පිහිටි ඔඩිෂා ප‍්‍රාන්තයත්, හර්යානා සහ පන්ජාබ් යන උතුරු ප‍්‍රාන්තත් මුළුමනින්ම පාහේ අඩපණ විය. රජයේ බැංකු,රක්ෂණ, ටෙලිකොම් සහ තැපෑල මෙන්ම රජයට අයත් ඛනිජ තෙල්, ගෑස්, ගල් අඟුරු කර්මාන්තද වැසී ගොස් තිබිණි. බොහෝ ප‍්‍රාන්තවල ප‍්‍රවාහනය මුළුමනින්ම පාහේ ඇණහිට තිබු අතර රටේම දුම්රියගමන් මුළුමනින් අක‍්‍රිය විය. චෙන්නායි, විශාකාපට්නම් යන දකුණේ නගරවලත්, බටහිර බෙංගාලයේ සහ නවදිල්ලි අගනුවරත් දැවැන්ත උද්ඝෝෂණ පැවැත්විණි.

මිලියන ගණනක් කම්කරුවෝ රට පුරා පැවති උද්ඝෝෂණ සහ විරෝධතාවලට සක‍්‍රියව සහභාගී විය. බටහිර බෙංගාලයේ වර්ජනයේ නියුතු කම්කරුවන්ට ත‍්‍රිනමූල් කොංග‍්‍රසය නම් දක්ෂිණාංශික පක්ෂයේ මැර තර්ජන වලට මුහුණ දීමට සිදු වූ අතර වර්ජකයන් සාර්ථකව එයට මුහුණදුන් බව මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීමේදී 200ක් පමණ ප‍්‍රාන්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. කල්කටාවේද මැරවරයන් වර්ජිත කම්කරුවන්ට පහර දීමේ සිදුවීම් වාර්තා විය. බොහෝ ගැටුම් ඇතිවුයේ ආණ්ඩුවට සම්බන්ධ පිරිස් කම්කරු රැලිවලට ප‍්‍රතිචාර ලෙස ප‍්‍රති-රැස්වීම් පැවැත්වීම නිසාය.

බටහිර බෙංගාලයේ කොමියුනිස්ට් පක්ෂයද ජාතිවාදය පැරදවීමේ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමේ සටන්පාඨ යටතේ පසුගිය අපේ‍්‍රල්-මැයි වකවානුවේදී සමුළු තීරණයක් ගෙන ඉන්දීය ධනපති කොංග‍්‍රසය සමග සන්ධානගත විය. කම්කරුවන් වීරෝධාර ලෙස සටන් වැදුනේ නිල වාමාංශයේ මෙවැනි පාවාදීම් මධ්‍යයේය.

වෘත්තීය සමිති දහයක් එක්ව ඒකාබද්ධ සටන් මධ්‍යස්ථානයක් ගොඩ නගා ක‍්‍රියාත්මක කළ මෙම එක්දින වැඩවර්ජනය මූලික සටන් පාඨ 12ක් කේන්ද්‍ර කරගත් මුත් එහි ප‍්‍රධාන අරමුණ වුයේ ඉන්දියාව තුළ නව ලිබරල් ප‍්‍රතිසංස්කරණ හරහා අධිරාජ්‍යවාදී ආර්ථික-දේශපාලන සැලැස්ම ක‍්‍රියාවේ යෙදවීමට විරෝධය පෑමයි. අරගලයේ ප‍්‍රධාන සටන්පාඨ මෙසේය.

1.    අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයට යටත් කරනු. ජාවාරම්කරුවන්ගෙන් භාණ්ඩ බෙදා හැරීමේ ජාලය මුදාගෙන පොදු තොග බෙදා හැරීමේ ව්‍යුහයක් සකස් කරනු.

2.     රැුකියා විරහිතයන්ට රැුකියා ලබා දෙනු.

3.    පවතින කම්කරු නීති බලාත්මක කරනු. එම නීති කඩ කරන්නන්ට දඬුවම් දෙනු.

4.    සියලූ දෙනාටම සමාජ ආරක්ෂණ සේවා සඳහා ඇති අයිතිය සහතික කරනු.

5.    අවම වැටුප ඉන්දියානු රුපියල් 18,000ක් (ලංකා රුපියල් 45,000ක්* කරනු.

6.    සියලූ වැඩිහිටියන්ට (අසංවිධානාත්මක ශ‍්‍රම ක්ෂේත‍්‍ර වල විශ‍්‍රාමික කම්කරුවන්ද ඇතුළුව* මාසිකව ඉන්දියානු රුපියල් 3000ක (ලංකා රුපියල් 7500ක* දීමනාවක් ලබා දෙනු.

7.    රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය නවතනු.

8.    ශ‍්‍රමිකයන් කොන්ත‍්‍රාත්, අනියම් වහල් ක‍්‍රමවලට ගොදුරු කිරීම නවතනු. අනියම් සහ කොන්ත‍්‍රාත් කම්කරුවන්ට ස්ථිර සේවා කම්කරුවන් භුක්ති විඳින සියලූ අයිතීන් ලබා දෙනු.

9.    වැටුප් වර්ධක, ප‍්‍රසාද දීමනා ආදිය සඳහා පනවා ඇති උපරිම සීමා අහෝසි කරනු.

10.    නව වෘත්තීය සමිතිවලට පිළිගැනීම ලබා දෙනු. සංවිධානය වීමේ අයිතියට අත නොතබනු.

11.    කම්කරුවන් සමග සාකච්ඡුා නොකර ඒක-පාර්ශවීයව කම්කරු නීති සංශෝධන සිදු නොකරනු.

12.    දුම්රිය, රක්ෂණ සහ ආරක්ෂක ක්ෂේත‍්‍ර වලට ගෝලීය ප‍්‍රාග්ධනය කැඳවීමේ සැලසුම් හකුලා ගනු.

කෙටියෙන් ගත් කළ මෙම සටන් පාඨ සංයුක්ත කර ගන්නේ සමාජ ආරක්ෂණ සේවා කප්පාදු කිරීම, කම්කරු නීති කප්පාදු කිරීම, රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලීකරණය, කම්කරු අයිතීන් උදුරා ගැනීම, වැඩකරන ජනතාව මත බර පැටවීම, අනියම්-කොන්ත‍්‍රාත් වහල් ක‍්‍රම ව්‍යාප්ත කිරීම, ගෝලීය ප‍්‍රාග්ධන අවශ්‍යතා ඉදිරිපිට දණ නැමීම ආදී නව ලිබරල් සැලසුම් වලට එරෙහි විරෝධයයි.

මෙය ලංකාවේ ක‍්‍රියාත්මක කිරීමට සැරසෙන සැලසුම් සමග සංසන්දනය කළ විට මෙම සැලසුම් වල ඇති අධිරාජ්‍යවාදී බළල් අත් සහ ඒවායේ ජාත්‍යන්තර ස්වභාවය වටහා ගත හැක. ඉන්දියාව තුළ නව ලිබරල් ධනවාදී ප‍්‍රතිසංස්කරණ නිල වශයෙන් ආරම්භ කර වසර 25ක් ගෙවී ගොස් ඇති අතර එම වසර 25 තුළ වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන් වඩාත් පහළට ඇද වැටී අයිතීන් කප්පාදු වී ඇත.

නරේන්ද්‍ර මෝඩි අගමැති ධුරයට තේරී පත්වූ පසුව මෙම වැඩපිළිවෙල වේගවත් කර ඇති අතර ඉන්දියානු කම්කරු පන්තියේ ජීවන කොන්දේසි, සේවා කොන්දේසි මෙන්ම නෛතිකව තහවුරු කර ඇති කම්කරු අයිතීන් කප්පාදු කිරීම හරහා ගෝලීය ප‍්‍රාග්ධනය, විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම ඔහුගේ සැලැස්මයි. පාලක භාරතීය ජනතා පක්ෂය උත්සාහ කරනුයේ ජාතිවාදී අයිසිං තවරා නව ලිබරල් වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමටය. එය හින්දු අන්තවාදය, මුස්ලිම් විරෝධය ආදී සටන්පාඨ හරහා අධිරාජ්‍යවිරෝධී සායමක් තවරා අධිරාජ්‍යවාදී වැඩපිළිවෙල ක‍්‍රියාත්මක කිරීමට සැරසේ.

අගමැති මෝඩි 2002දී මුස්ලිම් විරෝධී සමුළුවක් කැඳවීමේ ප‍්‍රධාන කැඳවුම්කරුවාව සිටි බවත්, දහස් ගණන් මුස්ලිම්වරුන් මරා දැමීම ගැන ඔහුට පුද්ගලිකවම චෝදනා ඇති බවත් අමතර කරුණක් ලෙස සඳහන් කළ යුතුය. මෙම වැඩවර්ජනය දියත් වුයේ එම වැඩපිළිවෙලට එරෙහිව ඉන්දීය වැඩකරන ජනතාවගේ ප‍්‍රතිරෝධය ප‍්‍රදර්ශනය කිරීම සඳහාය. වැඩවර්ජනයට ලැබුණු අති විශාල සහයෝගය විසින් නව ලිබරල් කොල්ලයට එරෙහිව ඉන්දියානු ජනතාව තුළ වර්ධනය වන විරෝධය මැනවින් ප‍්‍රදර්ශනය වේ. එම සැලැස්ම එලෙසම ලංකාවේද ක‍්‍රියාත්මක කිරීමට ආණ්ඩුව උත්සාහ කරන තත්වයක් තුළ ඉන්දියානු කම්කරු අරගලය අපට අතිශය වැදගත්ය.

මෝඩි ආණ්ඩුවේ ප‍්‍රධාන සටන්පාඨය වනුයේ විදෙස් ආයෝජකයන්ගේ සහය ඇතිව ඉන්දීය ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමයි. ඉන්දියාව ආර්ථික බලවතෙකු බවට පත් කිරීම සඳහා ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීම වැදගත් බව පවසන ආණ්ඩුව ඒ සඳහා ‘කැපකිරීම්‘ කරන ලෙසද, සිය අයිතීන් අත් හරින ලෙසද වැඩකරන ජනතාවගෙන් ඉල්ලා සිටී. මූලික වශයෙන් බැංකු, රක්ෂණ ආදී මූල්‍ය ක්ෂේත‍්‍රවල රාජ්‍ය පංගුව ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනයට විවෘත කිරීම ඉන්දියානු පාලක පන්තියේ ආරම්භක පියවරයි. එහිදී රජයේ ආදායම් පහළ වැටීම වැළැක්වීම සඳහා යෝජනා කෙරෙනුයේ ජනතාව මත බර පැටවීමයි. මෝඩි අගමැති ධුරයට පත්වූ විගසම පාහේ නව ‘භාණ්ඩ හා සේවා මත බද්දක්‘ පැනවූ අතර එය නීතිගත කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක්ද සිදු කෙරිණි. ඉන්දීය පාලක පන්තිය සිය කලාපීය බලවතාගේ භූමිකාව වෙනුවෙන් අධිරාජ්‍යවාදී ආර්ථික වැඩපිළිවෙල සමග පමණක් නොව අධිරාජ්‍යවාදී දේශපාලන සහ මිලිටරි සැලසුම් සමගද එක්වී සිටී.

පසුගිය ජුනි මාසයේදී නරේන්ද්‍ර මෝඩි ඇමෙරිකා එක්සත් ජනපදයේ සංචාරයක නියැලූණු අවස්ථාවේදී චීනයට එරෙහිව එක්සත් ජනපදය ගෙන යන යුද්ධයට විවෘතවම සහය පළ කිරීම මේ සඳහා එක් නිදසුනකි. එමෙන්ම අගෝස්තු 29වැනිදා අත්සන් තැබුණු ඉන්දීය-එක්සත් ජනපද භාණ්ඩ හා සේවා ප‍්‍රවර්ධන හුවමාරු ගිවිසුම් සංදේශය තවත් නිදසුනකි. මේ හැම එකකින්ම කෙරෙන්නේ චීනය සමග ගෙන යන යුද්ධයේදී එක්සත් ජනපදයට යුද, නාවුක, ගුවන් හමුදා යටිතල පහසුකම් සැපයීමයි. අධිරාජ්‍යවාදයට එරෙහිව ඉන්දියාව ජාතික වශයෙන් බලවතෙකු කිරීමේ සටන්පාඨය යටතේ සැබවින්ම කෙරෙන්නේ සෑම ක්ෂේත‍්‍රයකම අධිරාජ්‍යවාදී සැලසුම් සඳහා ඉන්දියාව පහසුකම් සලසන්නෙකු බවට පත් කිරීමයි.

ජනතා විරෝධය නැග එන්නේ මේ ආර්ථික-දේශපාලන-යුද සැලැස්මට එරෙහිවය.
මෙම වැඩවර්ජනය කැඳවුයේ මීට පෙර ඉන්දීය ආණ්ඩුව සමග සන්ධානගතව සිටි ඉන්දීය කොමියුනිස්ට් පක්ෂයට සහ ඉන්දීය මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයට අයත් වෘත්තීය සමිතිය. ඔවුන්ද කොටස්කරුවන්ව සිටි කලින් පැවති කොංග‍්‍රස් ආණ්ඩුව ගෙන ගියේද මෙම නව ලිබරල් වැඩපිළිවෙලමය. ඔවුන් ඒ කාලයේ එම වැඩපිළිවෙල ආරක්ෂා කළ අතර දැන් ආණ්ඩු වෙනසත් සමග නව ලිබරල් විරෝධී සටන්පාඨ මුමුණමින් සිටී. කම්කරුවන් අරගලයට කැඳවීමේදී ඔවුන්ගේ අරමුණ ගෝලීය ප‍්‍රාග්ධන උවමනාවන් සහ ඉන්දීය ධනපති පන්තියේ ප‍්‍රතිගාමීත්වය පරාජය කිරීම නොව භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව වෙනුවට කොංග‍්‍රස් පක්ෂ ආණ්ඩුවක් ගෙන ඒමයි.

භාරතීය ජනතා පක්ෂයේ ‘ජාතිවාදය සහ නව ලිබරල්‘ වැඩපිළිවෙල පරාජය කළ හැක්කේ ‘ලිබරල්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී‘ ඉන්දියානු ජාතික කොංග‍්‍රසය බලයට ගෙන ඒමෙන් බව මේ ඊනියා වාමාංශිකයන්ගේ මතයයි. එය ලංකාවේ ව්‍යාජ වාම මතය සමග සංසන්දනය කිරීම පමණක් වුව එහි ඇති ප‍්‍රතිගාමීත්වය වටහා ගැනීමට ප‍්‍රමාණවත්ය. දියත් කෙරෙන නව ලිබරල් වැඩපිළිවෙලට එරෙහිව ඉන්දීය කම්කරු පන්තිය ප‍්‍රමුඛ පීඩිතයන් තුළ වර්ධනය වන විරෝධය මුහුණු මාරුවක් වෙනුවෙන් කළමනාකරණය කිරීමේ දුෂ්ට සැලැස්ම පිළිබඳවද මනා අවබෝධයකින් සිටිය යුතුය.

ඉන්දීය සාර්ථක කම්කරු අරගලය එම අවදානම් පිළිබඳ පාඩම්ද අපට උගන්වයි. කොංග‍්‍රසයේ සහ භාරතීය ජනතා පක්ෂයේ තට්ටු මාරුව හරහා ඉන්දියාව තුළ ධනේශ්වර පන්ති ආඥාදායකත්වය සදාකාලික කිරීමට කම්කරු අරගල පවා කළමනාකරණය වීමේ අත්දැකීම ලංකාවේ දේශපාලනය වටහා ගැනීමේදීද අතිශය වැදගත් වේ.