ඉන්දියාවේ බලපෑම නිසා පාකිස්තානයෙන් ගුවන් යානා ගැනීම නතර වේ

JF-17

ඉන්දියාව විසින් සිදු කරන බලපෑම් හේතුවෙන් පාකිස්තානය සමඟ සිදු කිරීමට නියමිතව තිබූ ගුවන් යානා මිල දී ගැනීමේ ගනු දෙනුව නතර කිරීමට ශ්‍රී ලංකා රජයට සිදුව ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා රජය පාකිස්තානනේ JF – 17 වර්ගයේ ගුවන් යානා 10 – 12ක් මිලදී ගැනීමට සැලසුම් කර තිබිණි. එම ගනු දෙනුවේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 400ක් පමණ වන බවද ප්‍රකාශ විය.

මෙම ගනුදෙනුවට දැඩි ලෙස විරෝධය පළ කර ඇති ඉන්දියාව, ඉන්දියාවේ දැනට අත්හදා බැලීමේ මට්ටමේ පවතින HAL Tejas නමැති ගුවන් යානා මිලදී ගන්නා ලෙස බලපෑම් කර ඇතැයි ඇතැම් වාර්තා ප්‍රකාශ කරයි. කෙසේ වෙතත් මෙම ගුවන් යානා තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින අතර ආරක්ෂාව තහවුරු කර නැති බවද පැවසේ.

2009 වසරේදී යුද්ධය අවසන් වී ඇති බවත් යුද්ධය අවසන් වී වසර හයක් ඉක්ම ගොස් තිබියදී ලංකාවට ප්‍රහාරක ගුවන් යානා අවශ්‍ය නොවන බවත් ඉන්දියාව පවසා ඇතැයිද ඇතැම් වාර්තා සඳහන් කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා බී බී සී සිංහල සේවය කළ විමසුමකදී සඳහන් කර තිබුණේ ගුවන් යානා මිලදීි ගැනීම සඳහා පාකිස්තානයෙන් ඉල්ලීමක් ලැබී තිබෙන නමුත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක්ගෙන නැති බවයි. ගුවන් හමුදාවට ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට අදහස් කර තිබෙන බවද ඔහු පවසා ඇත.