හම්බන්තොට වරාය විකිනීමට ජ.වි.පෙ. විරෝධය!

හම්බන්තොට වරාය විකිනීමේ ගිවිසුම 7 වැනිදාට අත්සන් කිරීමට ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

හම්බන්තොට වරාය චීනයට විකිණීමට හා ඉඩම් අක්කර 15000ක් චීන ආයෝජකයන්ට පැවරීම සඳහා ආණ්ඩුවේ සැලසුමට විරෝධය පළකරමින් ජනතා විමුක්ති පෙරමුණ අද (5) අම්බලන්තොට ලැයිම හන්දියෙන් විරෝධතා පා ගමනක් ඇරඹීය. පාගමනින් අම්බලන්තොට නගරයට පැමිණ අම්බලන්තොට නගරයේ දි විරෝධතාවයේ යෙදුණු අතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, සුනිල් හඳුන්නෙත්ති, නිහාල් ගලප්පත්ති, කේ.ඩී ලාල් කාන්ත  ඇතුළු පක්ෂ සාමාජිකයෝ ඇතුළු විශාල පිරිසක් ඊට එක්වූහ.

ජ.වි.පෙ. මන්ත්‍රී කේ.ඩී.ලාල් කාන්ත රැස්ව සිටිවුන් අමතමින් හම්බන්තොට වරාය පැවරීමට ඉඩ නොදෙන බවට ජ.වි.පෙ. නායකයා විද්‍යුත් මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළ බවද එම අරගලය අද දින ඇරඹූ බවද කීය. එහිදී ඔහු තවදුරටත් පැවසුවේ ජ.වි.පෙ. විරෝධය නිසාම ආණ්ඩුව විසින් 7වැනිදාට නියමිත ගිවිසුම් අත්සන් තැබීම 8 වැනිදාට කල් තබා ඇති බව කීය. කෙසේවෙතත් හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම දැනටමත් අත්සන් තබා ඇති බව සහ එහි නව හිමිකාරත්වය 2017 ජනවාරි මසදී නිශ්චිතව පවරනු ලබන බව ‘ලංකාවීව්ස්‘ මින් පෙර වාර්තා කළේය.

ආණ්ඩුවේ ඇමැතිවරු ප්‍රකාශ කරන්නේ ජනවාරි 7 වැනිදා පැවැත්වෙන්නේ මින් පෙරාතුව අත්සන් කළ ගිවිසුම අනුව නිල වශයෙන් වරාය චීන සමාගම විසින් භාරගැනීම බවයි.

Leave a Reply