සහල් මිල ගැටලුව උද්ගතවීමන් පසුව පසුගිය දවස්වල නොයෙක් සංවිධානවලින් මාධ්‍ය සංදර්ශන පැවැත්වූවද ඒ එකකින්වත් සහල් මිලට අදාළ මාෆියාව හෙළිදරව් නොකළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
අද (8) දින කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පෙ.ස.ප. මධ්‍යම කාරක සභික, ඉන්ද්‍රනන්ද සිල්වා මේ බව පෙන්වා දුන්නේය. ඔහු විසින් එම මාධ්‍ය හමුවේදී පළ කළ අදහස් පහත පළ වේ.
“මේ වනවිට හාල් මිල වැඩි වෙලා. ආණ්ඩුව විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. නමුත් හාල් මිල පාලනය කරන්න කටයුතු කරන්නෙ නෑ. මේ හාල් වෙළදාම පිටුපස තියෙනවා විශාල මාෆියාවක්. පොළොන්නරුව කියන්නේ ජනාධිපතිගේ මල්ලි ඇතුළු මහා පරිමාණ මෝල් හිමියන් ඉන්න දිස්ති‍්‍රක්කයක්. එහේ ඉන්නවා නිපුන සහල් හිමි හිටපු නියෝජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් අරලිය සහල් අයිතිකරු ජනාධිපතිගේ මල්ලි ඩඩ්ලි සිරිසේන.
අද අපි මෙතන්ට ගෙනාවේ මරදානෙන් ගත්තු සහල්. මෙතන තියෙනවා සුපිරි අරලිය සම්බා කිලෝ එකක් 105යි. නමුත් මේ පැකට් එකේ නිෂ්පාදන දිනය කල් ඉකුත් වීමේ දිනය සඳහන්ව තිබුනත් මිලක් සඳහන්වෙලා නැහැ. මිල සටහන් කළ යුතු තැන හිස්ව තියෙන්නෙ. අනිත් පැකැට් එක නිපුන සම්බා, වික-නන්නෙ කිලෝවක් 98.50ටයි. ඒ පැකට් එකෙත් මිලක් සඳහන් කරලා නැහැ. අපි දන්නවා සාමාන්‍ය සිල්ලර කඩයක බී ලූණු කිලෝ එකක් වුනත් රුපියල් 2ක් හරි වැඩියෙන් වික්කොත් පාරිභෝගික අධිකාරියෙන් අල්ලලා නඩු දානවා. මේ ලඟදී පොළොන්නරුවේ සිල්ලර කඩයක රුපියල් 78ට විකුණන්න ඕන බී ලූණු කිලෝ එක රුපියල් 80 වික්කා කියලා උසාවි දාලා රු. 20,000ක් දඩ ගැහුවා. ඔබ මාධ්‍ය වේදින් විදියට අහලා තියෙනවාද? කොහේ හරි දිස්ති‍්‍රක්කයක වැඩිමිලට සහල් වික්කා කියලා කවුරු හරි උසාවියට අරන් යනවා. අපි වග කීමෙන් කියනවා. පාරිභෝගික අධිකාරියට ඉහළින් නියෝග ලැබිලා තියෙනවා. සහල් අල්ලන්න එපා කියලා. පොළොන්නරුවේ සාමාන්‍ය මෝල්වලින් කඩවලට දාන හැම නාඩු සහල් පැකැට් එකකම මිල සටහන් වෙනවා කිලෝ එක රුපියල් 68යි කියලා. ඒ තමයි ආණ්ඩුව යහපාලනය කියලා පෙන්නන්න නිකුත් කරපු සහල් පාලන මිල. නමුත් මට පෙරේදා පොළොන්නරුවේ තොග බඩු කඩයක මුදලාලි පෙන්නුවා ඒ 68ට දෙන්න කියන නාඩු සහල් එයාට ජනවාරි 6 වැනිදා නිකුත් කරපු බිල. ඒකේ තියෙන්නේ රු. 88ට අලෙවි කළ බව. දැන් ඩඞ්ලිගේ සුදු අරලිය සිරිපාල ගම්ලත්ගේ නිපුන සහල් ඒවගේම රත්න සහල් මේ සියල්ල කිලෝ එක රු. 94යි. කොළඹදී 98යි.
එතකොට ආණ්ඩුව තීරණය කරපු පාලන මිලට වැඩිය රුපියල් 30ක් වැඩියි. දවසකට ඩඞ්ලිගේ මෝලේ සහල් කිලෝ ලක්ෂ 7 හමාරක් නිපදවනවා. නිපුන සහල් කිලෝ ලක්ෂ 10යි රත්න සහල් 10යි. එතකොට 68ට විකුණන කොටත් ශුද්ධලාභයක් තියෙනවා. දැන් 98ට විකුණන කොට අතිරේක අතිරික්ත ලාභයක් ලබනවා දවසකට කෝට් 2කට වැඩිය. මේක අමු අමුවේ මංකොල්ල කෑමක්. අද කයිවාරු ගහන ඇමැතිවරුන්ට අපි අභියෝග කරනවා. පුළුවන්නම් මේ මංකොල්ලකාරයන්ව උසාවියට දාන්න කියලා.
අපි මේ රටේ පීඩිත ජනතාවට කියනවා. කිසිදවසක මේ පාලකයෝ මේ මෝල් මාෆියාවට අත තියන්නේ නැහැ කියලා. මොකද මේ අය කෝටි ගණන් මහ මැතිවරණවලට, ජනාධිපතිවරණවලට වියදම් කරනවා. පහුගිය දවස්වල අපි දැක්කා ජ.වි.පෙ. සමස්ථ ලංකා ගොවිජන සම්මේලනයත් මාධ්‍ය සංදර්ශන තියලා කියනවා හැරිසන්ගේ ගේ වටලනවා කියලා. අපි ඒ අයට කියනවා පුළුවන්නම් මේ මාෆියාවේ ඉන්න ඩඞ්ලිලා ගැන කියන්න කියලා. පහුගිය මහ මැතිවරණයෙදිත් ඩඞ්ලි ඒ අයට ලක්ෂ ගණන් වියදම් කළා. ඒකයි අපි කියන්නෙ මේ ඔක්කොම ඞීල් කියලා. බොරු මාධ්‍ය සංදර්ශන කියලා.
පහුගිය දවසක හැරිසන් ඇමැති මාධ්‍ය සාකච්ඡුාවක් තියලා කිව්වා, වැඩිම නාඩු වී තොගය නිකුත් කරලා තියෙන්නේ ඩඞ්ලිට කියලා. ඒ වගේම ඇමැති නොකියපු කාරණයක් දැන් අපි හෙළිදරව් කරනවා. පහුගිය දවස්වල කීරි සම්බා නිකුත් කරන්න ආණ්ඩුව ටෙන්ඩර් කැඳෙව්වා. වැඞ්ම මිල ඉදිරිපත් කරලා තිබුණේ පොළෙන්නරුවෙම වෙනත් මෝල් හිමියෙක්. නමුත් ඊළග දවසෙම ඒක අවලංගු කරලා විවෘත මිලගණන් කැඳෙව්වා. එතකොට කලින් මිලට වැඩිය ශත 50ක් වැඩියෙන් කතරගම බස්නායක නිළමේ මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණා. අපි දන්නවා පොළොන්නරුවේ පුද්ගලයෙක් ලෙස ඔහු ඒ තනතුරට පත්වුණෙත් දේශපාලන හිතවත් කමින් කියලා. අපි වගකීමෙන් කියනවා ඔහුට මෝලක් නැහැ කියලා. පුළුවන් නම් කියන්න ඔහුට මෝලක් තියෙනවා කියලා. ඒ නිසා ඔහු මිලදී ගත්ත වී ටිකත් ගියේ ඩඞ්ලිගේ මෝලටමයි.
අපි ආණ්ඩුවට කියනවා පුළුවන් නම් මිල ගහලා නැති හාල් විකුණන හාල් හිමියෝ අත්අඩංගුවට ගන්න කියලා. ඒක කරන්න බෑ. ඒකෙන් පෙනෙනවා මාධ්‍ය සංදර්ශනවල තියෙන බොරුව. මේක මාෆියාවක්. මොවුන් මාපිල්ලූ ලේ උරාබොනවා. ඒ නිසා අපි කියනවා ගොවියෝ, ශිෂ්‍යයෝ, කම්කරුවෝ සියලූ දෙනා එකට එකතුවෙන අරගලයක් අවශ්‍යයි. සංදර්ශනවලට හැමදාම රැවටෙන්න බෑ.“