ඉඩම් දෙන්නෙ නැත්නම් හම්බන්තොට වරාය මොකටද? – චීනය අසයි

චීනයට හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් ලබා නොදෙන්නේ නම් හම්බන්තොට වරාය පැවරීමේ කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව චීන තානාපතිවරයා ප්‍රකාශ කර තිබේ.

කර්මාන්ත පුරයක් සදහා චීනයට ඉඩම් අක්කර 15000ක් ලබාදෙන්නට නියමිත වූයේ හම්බන්තොට වරාය පවරාදීමට සමාන්තරවය. 2016 දෙසැම්බරයේ රජය හා චීන තානාපතිවරයාගේ අවබෝධය ඇතිව චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග් සමාගම සමග ඇති කරගත් මූලික ගිවිසුමට අනුව එම වරාය පැවරීම හා ඉඩම් පැවරීම ආරම්බ කරන්නට නියමිත වූයේ ජනවාරි 7 වැනිදාය. එහෙත් ජනතා උද්ඝෝෂන නිසා මෙම ගනුදෙනුව තාවකාලිකව කල්දමන්නට ආණ්ඩුවට සිදු විය. චීනයට වරාය පැවරීමේ ගනුදෙනුව සම්බන්ධ වන තවත් ගනුදෙනුවක් ලෙස හම්බන්තොට ඉඩම් අක්කර 15000ක් චීනයට පැවරීමද තිබිණි. වරාය ව්‍යාපෘතිය ආරම්බ කරනවාත් සමග ඉඩම් ද තමන්ට අවශ්‍ය බව චීනය දැනුම් දී ඇති බව ආණ්ඩුවේ ආරංචි මාර්ග හෙළිකරයි. එහෙත් මෙම ගනුදෙනු 2ම එකවර කිරීමෙන් ආණ්ඩුවට ජනතා කෝපයට මුහුණ දෙන්නට සිදුවනු ඇත.

චීන තානාපති යී ක්ෂියැංලියැන්ග් පවසා ඇත්තේ මෙම ගනුදෙනු එකිනෙක සම්බන්ධ නිසා එක් ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට නම් අනෙක් ගිවිසුමද ක්‍රියාවට නැංවිය යුතු බවය. “අපට කර්මාන්ත කලාපයට ඉඩම් නොදී වරායක් විතරක් දෙන එකේ තෙරුම මොකක්ද? වරාය අපි ගන්නවා නම් කාර්මික කලාපයත් ඕන වෙනවා.“ යනුවෙන් චීන තානාපතිවරයා පවසා තිබේ. මෙම ගනුදෙනුවේදී තමන් නම්‍යශීලි වන්නට සූදානම් බවද ලංකාවේ ආණ්ඩුව එහිදී තමන් දෙන්නේ කුමක්දැයි තීන්දු කලයුතු බවද ඔහු කීය.

මෙම ගිවිසුම් මැයි මාසයේදී අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරය තුළ අත්සන් කිරීමට නියමිත බව රජයේ ආරංචි වැඩිදුරටත් පවසයි.

Leave a Reply