නිල වශයෙන් සිරගත කිරීම් හා රිමාන්ඩ් කිරීමට රජය විසින් පවත්වාගෙන යන බන්ධනාගාර හැර රහසිගතව පවත්වාගෙන යන වධ කඳවුරු පවතින බවට පළමුවරට අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත්ව තිබේ.
ජුනි මස 23 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, සමූහ මංකොල්ලකෑම් අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් දුන් සාක්ෂියකින් මෙම කරුණ තහවුරු වී තිබේ.
පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් එවැනි වධකාගාර සහ රහසිගත සිර කඳවුරු හමුදා ප‍්‍රධානීන්ගේ සහ ප‍්‍රබල ඇමැතිවරුන්ගේ අනුදැනුම සහිතව පවත්වාගෙන ගිය බවට තොරතුරු රැසක් අධිකරණයේදී අනාවරණය කළේය.
දෙහිවල ප‍්‍රදේශයේ සිසුන් පස් දෙනකු පැහැර ගෙන ගොස් කප්පම් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වූ හබයාස්කෝපුස් පෙත්සමකදී සාක්ෂි ලබා දෙමින් ත‍්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුරේ එවැනි රහසිගත වධකාගාර ඇති බව ඔහු අනාවරණය කළේය.
පසුගිය රජය සමයේ විරුද්ධ දේශපාලන මත දරන්නන්, මාධ්‍යවේදීන් සහ සමාජ ක‍්‍රියාකාරිකයන් පැහැර ගෙන ගොස් වධ බන්ධනයට ලක් කොට අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල විය.
එවකට කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශකවරයා, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පමණක් නොව මහින්ද රාජපක්ෂ පවා එම චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.
විශේෂයෙන්ම සුදු වෑන්වලින් පුද්ගලයන් පැහැර ගැනීම හා ඊට ආණ්ඩුවේ ආරක්ෂක අංශවල පුද්ගලයන් සම්බන්ධ බවට චෝදනා එල්ල විය.
පැහැර ගැනීම්වලට ලක් වුණු පුද්ගලයන් කිහිප දෙනකු විවිධ හේතූන් මත නිදහස් කරන ලද අතර ඔවුන් විසින් අනාවරණය කරන ලද්දේ පුද්ගලයන් රහසිගතව රඳවා තබා ගත හැකි පරිදි තනන ලද රහසිගත සිර මැදිරි සහ වධකාගාර තිබෙන බවයි.
මෙම චෝදනා පසුගිය ආණ්ඩුව සමයේ ප‍්‍රතික්ෂේප කරන ලද නමුත් මේවා සම්බන්ධයෙන් හමුදා ප‍්‍රධානීන් මෙන්ම ආණ්ඩුවේ ප‍්‍රධාන පෙළේ ඇමැතිවරුන්ද දැන සිටි බව ඔහු පෙන්වා දුන්නේය.
සුදු වෑන් මඟින් පුද්ගලයන් පැහැර ගැනීමේ යෙදී සිටින්නේ කවුද, රහසිගත වධකාගාර සහ රහසිගත සිරමැදිරි පවත්වාගෙන යන්නේ කවුද ඒවාට වගකිව යුත්තේ කවුද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දෙන බව පොරොන්දු වී බලයට පැමිණි වත්මන් ජනාධිපතිවරයා සහ යහපාලන ආණ්ඩුව දැන් අනාවරණය වෙමින් පවතින සාක්ෂි ඔස්සේ පරීක්ෂණ පැවැත්විය යුතු යැයි සමාජ ක‍්‍රියාකාරීහු අවධාරණය කරති.