මරණ තුනක් මැද…

mahinda-maithri-ranil-300x187

මහමැතිවරණය පැවැත්වුයේ අගෝස්තු 17වැනිදාය. සති දෙකක් පමණ කාලයක් දිව හපාගෙන උත්සාහ කිරීමෙන් අනතුරුව අවසානයේ ආණ්ඩුවක් පිහිටුවිය හැකි තත්වයකට එක්සත් ජාතික පක්ෂය වර්ධනය වී ඇත. එහෙත් පිහිටුවීමට වන්නේ අස්ථාවර ආණ්ඩුවකි.

ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග හවුල් ආණ්ඩුවක් වන අතර එය මෛත්‍රීපාලගේ ඉදිරි සැලසුම් මතද රඳා පවතිනු ඇත. එහෙයින් ඉදිරි අවුරුදු දෙක ගත වනු ඇත්තේ මෛත්‍රීගේ, රනිල්ගේ සහ මහින්දගේ දේශපාලන ව්‍යාපෘති එකිනෙක ගැටෙමින්ද ජාත්‍යන්තර සහ කලාපීය දේශපාලන අභිලාෂයන් සමග හැල හැප්පෙමින්ද වීම වලක්වාලිය නොහැක.

ඉතිහාසයේ ප්‍රථම වරට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ආණ්ඩුවක් තුළ එකට එක්වී ඇත. එය ලංකාවේ දේශපාලනයේ එක් සන්ධිස්ථානයකි. තට්ටු මාරුව යටතේ ප්‍රතිපත්තිමය පරස්පරයක් මවා පෙන්වමින් එහෙත් එකම පන්තිමය ප්‍රතිපත්තියක් යටතේ ලංකාව මෙම පක්ෂ දෙක විසින් මාරුවෙන් මාරුවට පාලනය කිරීමේ ඉතිහාසය නව හැරුම් ලක්ෂ්‍යයක් කරා පැමිණ ඇත.

එමෙන්ම තවත් දේශපාලන හැරුම් ලක්ෂ්‍යයක් මේ මොහොතේ නිර්මාණය වී ඇත. ඒ එකවර ආණ්ඩුවත් විපක්ෂයත් නියෝජනය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කිරීම නිසා වෙස්ට්මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අතාර්කික වෙමින් තිබේ. මේ සියල්ල මැද ලෝක දේශපාලන ප්‍රතිවිරෝධතා සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ උපාමාරු වල නූල් බෝලයක පටලෙන්නාක් මෙන් ලංකාව තව තවත් පැටලෙමින් තිබේ. මේ සියලු කලබැගෑනි මැද අප කළ යුත්තේ කුමක්ද? අද කතා කිරීමට මුල පුරන්නේ ඒ ගැනය.

මල් වෙඩි නිවී යමින් තිබේ

රාජපක්ෂ පාලනයට වඩා තමන් වෙනස් බව පෙන්වීමට මෛත්‍රී සහ රනිල් ගෙවී ගිය මාස හයේ දැල්වූ මල්වෙඩි නිවී යමින් අහස යලි අඳුරු වෙමින් තිබේ. රාජපක්ෂ පාලනයේ ජාතිවාදයෙන් සහ මර්ධනයෙන් බැට කෑ සුළුතර ජාතික ජන කොටස් ජනවාරි 8 වැනිදායින් පසු “වෙනසක්” අපේක්ෂා කළේය. අද ඒ වෙනසේ අංශු මාත්‍රයක්වත් ඉතිරිව නැත.

ආණ්ඩුවේ ලොක්කන්ගෙන් ඇසෙන්නේ උතුරේ එක හමුදා කඳවුරක්වත් ඉවත් නොකරන බවට වන සපථ කිරීම්ය. උතුරේ තමිල් ජනයා අවම වශයෙන් මර්ධනයට ගොදුරුවූ සමීපතමයන්ට සාධාරණයක් ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි ඊනියා ජාත්‍යන්තර ප්‍රජාව තමන්ට යුද්ධයේදී වැනසුණු ජීවිත පිලිබඳ ප්‍රශ්නය සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා පෑදුනු ඉල්ලමකට වඩා වැඩි දෙයක් නොවන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරමින් සිටී. නිශා බිස්වාල් ඉඟි කළේ මානව හිමිකම් පිලිබඳ පරීක්ෂණ සිය විරුද්ධවාදීන් මෙල්ල කිරීමේ උපකරණයක් සහ අවශ්‍ය විටෙක සතා මෙල්ල කරන තෝන් ලනුවක් සහ කෙවිටක් පමණක් බවය.

ප්‍රජාතන්ත්‍රවාදය පිලිබඳ බලාපොරොත්තුද එලෙසම පාවා දෙමින් තිබේ. මෛත්‍රී දැනටමත් ඒකාධිපති ලක්ෂණ ප්‍රකට කරමින් සිටී. ඒ පක්ෂයේ අභ්‍යන්තර බල අරගලයේදීය. රටේදී ඔහුගේ බලය අභියෝගයට ලක්වන ඕනෑම විටෙක අපට දෙවැනි මහින්ද කෙනෙකුගේ අත්දැකීම විඳ ගැනීමේ අවස්තාව උදා වනු ඇත. අප පසුගිය සතියක ලියු පරිදිම මැතිවරණය ආසන්නයේ ප්‍රදර්ශනාත්මක භාණ්ඩ බවට පත්කර ගත් නිසාම් තජුඩීන් ඝාතන පරීක්ෂණ ආදිය යටපත් වෙමින් යන ලකුණු පෙනෙන්නට තිබේ.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගැනීම පිලිබඳ පරීක්ෂණද එලෙසම දේශපාලන වාසි වෙනුවෙන් කරන සංදර්ශන වලින් ඔබ්බට ගොස් නැත. ලලිත් සහ කුහන් වැනි දේශපාලන ක්‍රියාධරයින්ගේ ඉරණම පිළිබඳව අවම වශයෙන් එවැනි ප්‍රදර්ශන පරීක්ෂණ පවා නැත. මැතිවරණය අවසන්ව ඇති නිසා මේ බොහෝ ලිපි ගොනු යලිත් හමස් පෙට්ටියට වැටෙනු ඇත.

සොරකම්, වංචා සහ දුෂණ පිලිබඳ කරනවායැයි කියූ පරීක්ෂණ වල අද තත්වය කුමක්ද? ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සැප්තැම්බර් පළමුවැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ ආකාරයටම සම්මුතිවාදී දේශපාලනය ආරම්භ වී තිබේ. සම්මුතිය කුමක්දැයි ප්‍රදර්ශනය කරමින් මහින්දගේ ගෝලයන් රනිල්ගේ මිතුරාට එරෙහිව පවරා තිබු මහබැංකු බැඳුම්කර වංචාවට අදාළ නඩුව ඉවත් කරගත් අතර රනිල්ගේ ගෝලයන් මහින්දට සහ මහින්දගේ මිතුරා වන අජිත් නිවාඩ්ට එරෙහිව පවරා තිබු අර්ථසාධක අරමුදල් අවභාවිතා කිරීමට අදාළ නඩුව ඉවත් කර ගත්තේය.

රනිල්- මහින්ද රණ්ඩුව මෙන්ම මෛත්‍රී – මහින්ද රන්ඩුවද අලුත් අදියරකට පැමිණ තිබේ. සැප්තැම්බර් දෙවැනිදා පැවැති ශ්‍රී.ල.නි.ප. සංවත්සර උළෙලේදී දුමින්ද දිසානායක පැවසුවේ මැතිවරණ කාලයේ පැවැති පරස්පරයන් අත හැර  සියලු දෙනා දැන් සමගිව කටයුතු කරන බවය. කෙසේ වෙතත් හොරු ඇල්ලීමේ සහ ඝාතන පරීක්ෂණ පැවැත්වීමේ මල්වෙඩි සංදර්ශන අවසන්ව යමින් තිබෙන අතර රනිල්- මෛත්‍රී- මහින්ද ගැටුම් ජවනිකා දෙස බලා සිටීමේ අවස්තාව නම් තීව්‍රතාවය වෙනස්වී වුවත් දිගටම පවතිනු ඇත.

ලංකාවේ දේශපාලනය මෙවැනි ලක්ෂ්‍යයක් වෙත එළඹුණේ මෛත්‍රීගේ යහපත්කම නිසා හෝ රනිල්ගේ පරිනත කම නිසා නොව  ලංකාවේ ධනවාදයේත් එයටම ආවේනික පසුගාමීත්වයේත් ප්‍රතිපලයක් ලෙසය.එමෙන්ම ජාත්‍යන්තර සහ කලාපීය දේශපාලන උපායමාර්ගයන් ලංකාවට අදාලවන ආකාරයට අනුවය. මේ සම්මුතිවාදයේ සැබෑ හේතුවද එකී අර්බුධයයි.

මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට ආසන 113ක බහුතරයක් ලැබී අතාවර ආණ්ඩුවක් බිහි වූයේනම් තත්වය මීට වඩා වෙනස් වනු ඇත. කෙසේ වෙතත් පවතින තත්වය මෙතෙක් ලංකාවේ පාලක පන්තිය පවත්වාගෙන ආ දේශපාලන ස්ථාපිතය සැලකිය යුතු වෙනසකට බඳුන් කර ඇත. අප මීට පෙරද පැවසු ආකාරයට දේශපාලන අවදානමක්ද භාර ගනිමින් දක්ෂිනාංශික ප්‍රධාන පක්ෂ දෙකම තමන් පදනම් වන්නේ එකම ප්‍රතිපත්තියක් මත බව  ප්‍රසිද්ධියේ සමාජයට ප්‍රකාශ කරමින් සිටී. එපමණක් නොව එම වැඩපිළිවෙල පක්ෂ දෙකම එකාබද්ධව වඩාත් ශක්තිමත්ව ක්‍රියාවට නංවමින් සිටී.

අභියෝගය විවෘතය

අප පසු කලේ මතවාදී සහ ප්‍රතිපත්තිමය වශයෙන් අතිශය දිළිඳු සංවාදයක් සහිත මැතිවරණයකි. ගෙවී ගිය ජනාධිපතිවරනයේදී මෙන්ම මෙවර මහමැතිවරනයේදීත් ආධිපත්‍යය ගනු ලැබුවේ මහින්ද පැරදවීමේ අතිශය දුර්වල දේශපාලන තර්කයයි. එය මහින්ද නැමැති පුද්ගලයාට ලඝුවුවා මිස අවම වශයෙන් මහින්දගේ ප්‍රතිපත්තිවත් අභියෝගයට ලක් නොවිණි. එහි ප්‍රතිපලය වුයේ ආණ්ඩුව කිසිදු ප්‍රතිවිරෝධයකින් තොරව මහින්දගේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ පිළිගන්නා තත්වයකට පැමිණීමත් මහින්දගේ ජාතිවාදී ව්‍යාපෘතිය විපක්ෂයේ නිල මතය බවට එසවීමත්ය.

මහින්දගේ මතය පරාජය නොවූ නිසා එය මෛත්‍රී තුලත් රනිල් තුලත් ජීවත් වෙමින්, වර්ධනය වෙමින් තිබේ. වාමාංශිකයන්, ප්‍රගතිශීලීන් සහ සටන්කාමී ජනතා බලවේග සතු අභියෝගය ස්ථානගත වෙන්නේ මේ පරිසරය තුලය. දැන් බරටම ඇවිලී යන්නේ විපක්ෂ නායක ධුරය අයිති කෙනා පිලිබඳ විවාදයයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකවර ආණ්ඩුවත් විපක්ෂයත් නියෝජනය කිරීම හරහා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පයම විකාරයක් බවට පත්කර තිබේ. ඒ අතර ගුණදාස අමරසේකරලා මාධ්‍ය සාකච්ඡා තබමින් විපක්ෂ නායක පුටුවට දිනේෂ් ගුණවර්ධන වැන්නන් යෝජනා කරමින් සිටී.

ඒ නිශ්චිත වශයෙන්ම විපක්ෂ ක්‍රියාකාරීත්වය ජාතිවාදී මතයේ ග්‍රහණයට ගැනීම සඳහාය. දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානය හැරුණු විට පාර්ලිමේන්තුවේ වැඩිම ආසන හිමි දෙමල ජාතික සන්ධානයට විපක්ෂ නායක ධුරය නොදිය යුතුයැයි ඇතැමුන් තර්ක කරන්නේද එය බෙදුම්වාදය ශක්තිමත් කරනවා කියමින් ජාතිවාදී පදනම මතය.

සම්බන්ධන්ලාට විපක්ෂ නායක කම නොලැබිය යුතු ඔවුන් දෙමල නිසායැයි කියන ඕනෑම අයෙකු සමග අප සමා විරහිත අරගලයකට සුදානම් අතර එවැනි ජාතිවාදී ප්‍රලාප වහා පරාජය කල යුතු බවද සිතමු. එහෙත් දෙමල ජාතික සන්ධානය තමිල් පීඩිතයාගේ ප්‍රශ්නයට පිවිසෙන්නේ ඉතා පාර්ශවීය ලෙසය. උතුරේ ප්‍රභූ පදනමකින් පැන නැගුනු සම්බන්ධන්ලාට පටු ජාතිකවාදී අදහස් හැර තමිල් භාෂාව කතා කරන පීඩිතයාට දෙන්නට කිසිදු හොඳ දෙයක් හෝ කියන්නට සාරවත් අදහසක් නැත.

අනෙක් අතින් ඔවුන් විපක්ෂයට වඩා නියෝජනය කරන්නේ ආණ්ඩුවයි. ආණ්ඩුවේ මතවාදයයි. ජනතා විමුක්ති පෙරමුණ තරමටම නොවුනත් ඔවුන්ද පසුගිය දින 100 හවුල් ආණ්ඩුවේ කොටස්කරුවන් විය. අනෙක ඔවුන්ට විකල්ප ප්‍රතිපත්තියක් නැත. දෙමල ජාතික සන්ධානය පිළිගන්නේද එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තියම බව වටහා ගන්නට එම ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක කියවීම සෑහේ.

මේ අතර පරාජිත මහින්දවාදීන් එල්ලෙන පිදුරු ගස බවට පත්ව ඇත්තේ ජාතිවාදයයි. පාර්ලිමේන්තුවේ පළමු දිනයේ ගම්මන්පිල කළ කතාව මෙන්ම විපක්ෂය තුල විපක්ෂයක් හදන බවට වාසුදේව නානායක්කාර කළ කතාව අවධානයට ගත යුත්තේ ඒ පදනම මතය. අප සමාජයක් ලෙස සිටින්නේ මරණ තුනක් මැදය.

පසෙකින් හවුල් ආණ්ඩුවේ ප්‍රතිගාමී නව ලිබරල් ව්‍යාපෘතිය, තවත් පසෙකින් විකල්පයට ආදේශ වීමට යන ජාතිවාදී ව්‍යාපෘතිය සහ අනෙක් පසින් අධිරාජ්‍යවාදී බල පොරයයි. මේ මරණ තුන මැද අවශ්‍යනම් අපට පැණි කමින් සිටිය හැක. නැත්නම් අප කල යුත්තේ වහාම විකල්පය ශක්තිමත් කිරීමයි. මේ ව්‍යසනයට විකල්පය ඇත්තේ වාම දේශපාලන ධාරාව තුල බවට අපටනම් සැකයක් නැත.

එහෙත් දැනට එයට පුළුල් පොදු ජන කොටස් අතර පිළිගැනීමක් හෝ අනුමැතියක් නැත. සලකා බලන විකල්ප අතරද වම ඇත්තේ දුරිනි. එය ප්‍රබල අභියෝගයකි. එතරම් දුෂ්කර අභියෝගයක් උකටලීබව, උදාසීනත්වය හෝ දුරින් හිඳ බලා සිටීම මගින් ජයගත නොහැක. කළ යුත්තේ කුඩාවට හෝ පටන් ගැනීමයි. කුඩා පිරිසක් සමග හෝ සටනට පිවිසීමයි. ප්‍රතිපත්ති මූලික දේශපාලනයකට සමාජය කැඳවීම මුලින් කළ යුතුය. බලය නොව, ප්‍රචාරක සංදර්ශන නොව, ප්‍රතිපත්ති උරගා බැලෙන සමාජයක ජයගනු ඇත්තේ වාමාංශික ප්‍රතිපත්තියයි. ඒ එය නියෝජනය කරන්නේ සමාජයේ සාතිශය බහුතරයේ අභිලාෂයන් බැවිනි.