විධායක ජනාධිපතිධුරය අහෝසි කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අභිමතය අනුව කටයුතු කිරීමට තමා අදහස් කරගෙන සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සිය නව රජයේ ප්‍රතිපත්තිය ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේය.
මේ අනුව පසුගිය ජනාධිපතිවරණයට පෙර පොරොන්දු වූ අයුරින් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ ක්‍රියාවලිය වත්මන් පාර්ලිමේන්තුවට පවරා සිය පොරොන්දුව ඉටු කිරීමේ වගකීමට තමාගේ අදාලත්වයක් නොමැති බවට ඉගිකර ඇත.
මන්ද මහින්ද රාපක්ෂ පාලනයට එරෙහිව පැවැති විධායක බලතල අනිසි ලෙස උපයෝගීකරගෙන රාජපක්ෂ පවුලේ බොනපාට්වාදී පාලනයක් ගෙනයෑම හේතුවෙන් එම පාලනයෙන් පිඩාවටපත් ජනතාවගේ අපේක්ෂා උපයෝගී කරගෙන වත්මන් ජනාධිපතිවරයා බලයට පැමීණි අතර මූලිකම කොන්දේශියක් වූයේ මෙරට පවතින විධායක බලතල වහාම අහෝසි කිරීමේ අවශ්යෙතාවය දැඩිව අවධාරණය කරමිණි. නමුත් දැන් විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ අවශ්‍යතාවය ගැන වන සංවාදයට ඒ සදහා මැදිහත්වූ පාර්ශවයන්ගෙන් එතරම් ප්රමුඛත්වයක් ලැබෙන්නේ නැත.
මෙරට ජනතාව හමුවේ දෙනු ලැබූ එම පොරොන්දුව ඉටු කරවා ගැනීමට ඒ සදහා මැදිහත්ව කටයුතු කළ අයට පමණක් නොව යහපාලනයක් ගෙන එන බව පවසා මෙරට ජනතාවට පෙන්වූ ඒ සුන්දර සිහිනය ඉටුකිරීමේ වගකීමෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාටත් මගහැරයා නොහැක.
වත්මන් පාර්ලිමේන්තුව තුල හවුල් ආණ්ඩුවක් නිර්මාණය කරමින් එජාප හා එජනිස පාලනයක් ගොඩනගා ඇති යාථාර්තයක් තුල ඒ ප්රමුඛ ඉල්ලීම පාර්ලිමේන්තුව තුලින් ඉටු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමේ වගකීමත් ජනාධිපතිවරයාගේ දෙවුරමතම පැවරෙන බව කිවයුතුය.
එය ජනතාව අපේක්ෂා කළ හා තමව අපේක්ෂා කරන දෙයකි. ඒ සදහා වන ජනවරම ජනවාරි 08 වැනි දින ලබාදී ඇත. ක්‍රියාත්මකවීමේ බලය එම විධායක ජනාධිපතිධුරය අහෝසි කරන බවට පොරොන්දුවී බලයට පැමිණි යහපාලනයක් ගැන කතාකළ ජනාධිපතිවරයා වන ඔබ සතුය. ඔබ එය ඉටු කරනවාදැයි අප බලා සිටිමු.