අලුත් පාර්ලිමේන්තුව අද (සැප්තැම්බර් 01) ජනාධිපතිවරයා විසින් ආරම්භ කිරීමට නියමිතයි. රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයාට අනූව මෙය ජනවාරි 8 විප්ලවයෙන් පසු එය ඉදිරියට ගෙන යන සම්මුතිවාදී පාර්ලිමේන්තුවයි.
ජනතා විමුක්ති පෙරමුණට අනූව ජනවාරි 8 වෙනිදා සිදු වූ වෙනස තුළ ආණ්ඩුමට්ටු කරන විපක්ෂයේ භූමිකාවක් සඳහා පළමු වෙඩි මුරය පත්තු කරන අවස්ථාවයි. ඒ සඳහා නිවැරදිව ජාතික ආණ්ඩු හදන්නේ කොහොමද යන පාඩම පාර්ලිමේන්තුවට කියාදීමට ඔවුන් විවාදයක්ද ඉල්ලා ඇත.
මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අනූව මැතිවරණයේදී ඔහු රූපවාහනීී දැන්වීම්වල දැමූ පරිදි මෛත‍්‍රී පාලනය ඉදිරියට ගෙන යාමට ආරම්භයක් තබන අවස්ථාවකි. මේ කවුරු මොනවා කිව්වත් මේ පවතින තත්වය තුළ සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් කිසියම් මඥ්ඥං ස්වභාවයක් ඇති බව පැහැදිළිය.
මහින්ද රාජපක්ෂ සමයේ මහබැංකු අධිපති වූ අජිත් නිවාඞ් කබ්රාල්ට විරුද්ධව දැමූ නඩු ඉවත් කරගැනීමද, හවුල් ආණ්ඩුවේ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව එක්සත් ජනතා නිදහස් සන්ධාන පලාත් සභා මන්ත‍්‍රී රේණුක පෙරේරා දැමූ නඩුව ඉල්ලා අස්කර ගැනීමත්, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට විදෙස් ගමන් යාමට අධිකරණයෙන් අවසර දීමත් ඒ සියල්ල සමග අගමැති දිව්රුම් දීමේ උත්සවයට මහින්ද රාජපක්ෂ කුරුණැගල දිස්ත‍්‍රීක් මන්ත‍්‍රීවරයා සහභාගී වීමත් මේ මඥ්ඥං ස්වභාවය තවත් වැඩි කළේය.
ඒ අතර එල් ටී ටී යේ හිටපු නායකයෙක් වූ කේ පී ට විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණ මගින් පවරා තිබූ නඩුවකදී අධිකරණය ප‍්‍රකාශ කර තිබුනේ ඔහු ත‍්‍රස්තවාදී ක‍්‍රියාවකට සම්බන්ද යැයි මෙතෙක් කිසිදු තොරතුරක් ලැබී නැති බවයි. මෙවැනි දේවල් වෙද්දී ලංකාව පමණක් නොව ඇමෙරිකාවද මඥ්ඥං කෙලීමට පටන්ගෙන ඇත.
ඒ අනුව මෙතෙක් කල් ලංකාවේ යුධ අපරාධ ගැන මහා කැක්කුමකින් කතා කළ ඔවුන් මේ වන විට දේශීය පරීක්ෂණයකට අවසර ලබා දී ඇත. මේ ගැන ලංකාවේ දෙමළ ජාතික සංධානය සමග ලංකාවටම ඇවිත් නිශා බිෂ්වාල් සාකච්ඡා කළේය. එතැනදී ඇයට වචනයක් වත් නොකී දෙමළ ජාතික සන්ධානය ඇය ලංකාවෙන් ගිය පසු දැන් ඒ ගැන ගතු කියමින් සිටී. මේ අතර විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා පසුගිය කාලයේ කතා කරේ මහින්ද රාජපක්ෂ අගමැති කරන සටනක් ගැනය.
දැන් ඔහු කියන්නේ තමන්ට විපක්ෂ නායකවරයෙක් පත් කරගැනීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන අනුමැතිය දුන් බවයි. ගම්මන්පිල මහතා මේ ගැන කියන්නේ තමන්ට සන්ධාන පක්ෂ නායක රැුස්වීමට ආරාධනා කර නොතිබීම ගැන පුදුම වන බවයි. කොමියුනිස්ට් පක්ෂයේ ඩිව් ගුණසේකර ලේකම්වරයා කියා සිටියේ ජනාධිපති මැතිවරණ කාලේ නම් තමන් හා සාකච්ඡුා කළ බවත්, දැන් ඔවුන් උන්නද මලාද කියාවත් නොසොයන බවයි.
අගමැතිවරයාත් විපක්ෂනායකවරයාත් පත් කිරීමට ජනාධිපතිගේ කැමැත්ත බලපෑ ලෝකයේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය විය හැක. මේ තත්වය සැබවින්ම කිසියම් මඥ්ඥං ස්වභාවයක් නොවේද? මෙම කොටසටම එකතුවිය යුතු තවත් පිරිසක් සිටී.
එනම් පසුගිය ජනවාරි 8 දා සිදුවූ වෙනස ඔස්සේ යමින් ජනාධිපති සිරිසේන වගේම ආණ්ඩුව හා විපක්ෂය යන දෙකම තමන්ගේ කැමැත්තට අනූව තොරාගන්නා බව පැවැසූ සිවිල් සංවිධානයි. ධර්මසිරි බණ්ඩාරණායක මහතා ඇතුළු පිරිසක් පසුගියදා මාධ්‍ය හමුවක් පවත්වා කියා සිටියේ. මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය යට ගැසීමට ඔහුගේ එල් ටී ටී ඊ සම්බන්ධයක් පිළිබඳ කතා කරන ආණ්ඩුවක් බලයට පත් කිරීම පිළිබඳ ඔවුන් ජනතාවගෙන් සමාව අයදින බවයි. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවන්ද පරාජිත දේශපාලනඥයන්ට ජාතික ලයිස්තු මන්ත‍්‍රී කම් දීම පිළිබඳ පසුගියදා මේ හා සමාන ප‍්‍රකාශයක් කර තිබුණි.
එසේම ජනාතා විමුක්ති පෙරමුණෙන් ජාතික ලයිස්තු මන්ත‍්‍රීන් ලෙස ඉදිරිපත් වූ ක‍්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා කර තිබූ ප‍්‍රකාශය හා සරත් මායාදුන්න මහතා තම මන්ත‍්‍රීකමෙන් ඉල්ලා අස්වීමට ඇති සූදානම ආදි සිදුවීම් ගණනාවකින් මේ වන විට ඉහත කී මඥ්ඥං ස්වභාවය නිර්මාණය වී ඇත.
මේ සියල්ල සමග අපට මතක් වූයේ පසුගිය කාලයේ රන්ජන් රාමනායක මහතා ර`ගපෑ පාර්ලිමන්ට් ජෝක්ස් චිත‍්‍රපටියයි. එම රන්ජන් රාමනායක මහතාම මේ අල්ලපනල්ලේ වංචා දුෂණ ගැන අල්ලස් දුෂණ කොමිසමට පැමිණිලි කිරීමට ගොස් එතනින් කිච වූ අවස්ථාවක්ද මේ අතර මාධ්‍ය වල වාර්තා විය.
අද අලුත් පාර්ලිමේන්තුව ආරම්භ වන්නේ මෙවැනි තත්වයකය. අවසන් වශයෙන් පසුගිය කාලයේ ලංකාවේ දේශපාලනය තුුළ බොහෝ දේශපාලන මැදිහත්වීමක් කළ සුනිල් පෙරේරා මහතාගේ ගීතයක කොටසකින් මෙම සටහන හමාර කරමි. මෙහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි. මැති ඇමතිල ඕව දන්නේ අයි ඩෝන්ට් නෝ වයි?