සැප්තැම්බර් පළමු වැනිදා පාර්ලිමේන්තුව රැස්වුණා. එදා කතානායක, නියෝජ්‍ය කතානායක, සභානායක,කාරක සභා සභාපති, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වගේ තනතුරු ගණනාවක් සඳහා පත්කිරීම් කළත් විපක්ෂ නායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුරු වල පුරප්පාඩු පිරෙව්වේ නෑ.
ඒකට හේතුව සමගි සන්ධාන ආණ්ඩුවක් හැදෙයිද, ඒකට කවුරු යයිද, කවුරු විපක්ෂයේ ඉතිරි වෙයිද වගේ ප්‍රශ්න නිරාකරණය වෙලා තිබුනේ නැති නිසා. ජාතික ආණ්ඩුවක් ලෙස මාධ්‍ය වලින් හඳුන්වන එක්සත් ජාතික පක්ෂ – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුව හැදෙන එකට ලොකුම බාධාව ලස තිබුනේ ඇමතිධුර සංඛ්‍යාව.
ශ්‍රී.ල.නි.ප. ය ඇමති ධුර 17ක් ඉල්ලුවා කියලා ආරංචි පැතිර ගියා. රනිල්ට තිබුණු ප්‍රශ්නය ඒ පක්ෂයට ඇමති ධුර 17ක් දෙන එක නෙවෙයි.
ජාතික ආණ්ඩුවක ඇමති ධුර සංඛ්‍යාව 45කට සීමා කරනවා කියලා කලින්ම පොරොන්දු වෙලා හිටිය නිසා එහෙම වුනොත් එක්සත් ජාතික පක්ෂයට ඉතිරි වෙන්නේ ඇමතිධුර 28ක් විතරයි. කලින් තිබුණු ආණ්ඩුවෙන් පැනපු චම්පික, රාජිත වැනි අයටත් ඇමති ධුර දෙන්න වෙන නිසා එහෙම උනොත් යු.ඇන්. පී කාරයෝ අවුල් වෙනවා. කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙන්න ප්‍රමාද වුනේ ඒ නිසා.
කොහොම උනත් අන්තිමේදී සැප්තැම්බර් 04වැනිදා පෙරවරු 11.00ට 45දෙනෙකුගේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම් දෙන්න පසුව තීරණය කෙරුනා. රවී කරුණානායක මාධ්‍ය වලට පැවසුවේ මේ 45ක ඇමති ධුර එජාප 33ක් හා ශ‍්‍රිලනිප 12ක් ලෙසබෙදී යන බව. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ද එකතු වුනාම මේ ගැන තව වැඩි වෙනවා.
ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව සම්බන්ධ ප්‍රශ්නයට 19වන ව්‍යවස්ථා සංශෝධනයත් සම්බන්ධයි. කලින් පැවැති මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සීමාවක් නැතිව ඇමතිධුර වැඩි කළා. හැම දෙනාම වගේ ඇමතිවරු බවට පත් කළා. ඒ නිසාම විශාල ඇමති මණ්ඩල ගැන සමාජ විරෝධයක් පැන නැගුනා.
පසුගිය ජනාධිපතිවරනේදී මෛත්‍රීපාල සිරිසේන ඒ විරෝධයත් තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියට භාවිතා කළා. ඇමතිධුර සංඛ්‍යාව ව්‍යවස්ථාවට ඇතුළු කරලා කාටවත් තමන්ට ඕන විදියට ඒක වැඩි කරන්න නොදෙන බවට පොරොන්දු වුනා. 19 වන ව්‍යවස්ථා සංශෝධනයට ඇමතිධුර සීමා කිරීමේ වගන්තියක් එන හේතුව ඒකයි.
මුලින්ම ආපු 19වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ 46(1) වගන්තිය තිබුනේ මෙහෙම. එහි ඇමති මණ්ඩලය 30කටත් රාජ්‍ය ඇමතිවරු සහ නියෝජ්‍ය ඇමතිවරු සංඛ්‍යාව 40කටත් ලෙස ඇමතිධුර 70ක් සඳහා අනුමැතිය දී තිබෙනවා.
ඒ අතර වැඩිපුරම ඡන්ද ලබාගන්නා පක්ෂ දෙක එකතුවී ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේනම් ඇමතිධුර 100ක උපරිමයකට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ කැබිනට් ඇමතිධුර 45ක් සහ අනෙකුත් ඇමතිධුර 45ක් ලෙස. මේ තිබෙන්නේ ඒ ක්මුල් කෙටුම්පතේ 46(3) වගන්තිය.
නමුත් පසුව එම උපරිම සීමාව ඉවත්කර පාර්ලිමේන්තුවට කැමති තරම් ඇමති ධුර ප්‍රමාණය වැඩි කල හැකිවන සේ එය සංශෝධනය කළා. ඒ තිබෙන විදියට පාර්ලිමේන්තුවට පුළුවන් ගණන තීරණය කරන්න. මේ තිබෙන්නේ අවසානයේදී සම්මතවූ අවසන් 19වන ව්‍යවස්ථා සංශෝධන පනතේ මෙය සඳහන් වී තිබෙන ආකාරය. එය තිබෙන්නේ 46(4)(1) අනු ව්‍යවස්ථාවේ.
ඒ අනුව සිදුවී තිබෙන දෙය ඉතාම පැහැදිලියි. ඇමති ධුර ගණන ව්‍යවස්ථාවෙන් සීමා කරන බව කියා එහි සීමාව තිබෙන්නේත් උඩින්. සාමාන්‍ය ආණ්ඩුවක 70ක් සහ ජාතික ආණ්ඩුවක ඕන තරම් ගානක්. සීමාවක් සඳහා හැදුනු නීතියත් සීමාව ඉවත් කරලා සංශෝධනය කරලා.
පාර්ලිමේන්තු බහුතරය හිමි අයට තමන් කැමති විදියට ඇමති මණ්ඩලය විශාල කර ගන්න පුළුවන්. ආණ්ඩු පිහිටුවන්න ඇමති ධුර වලින් කප්පම් දෙන්නත් පුළුවන්. ඒ 19වන ව්‍යවස්ථා සංශෝධනයේ කඩවුණු පොරොන්දු ගැන කතාවක්.මේකේ තව කතාවක් තියෙනවා.
නව ආණ්ඩුවේ ඇමතිධුර ගණන සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කළා. එම විවාදය 03 වැනිදා පාර්ලිමේන්තුව තුළ සිදුකළ හැකි බවට අග්‍රාමාත්‍යවරයා අනුර කුමාර දිසානායක මහතාට දන්වා තිබුනා.
රනිල්ට අනුව මේක ඉබ්බා දියට දාන කොට ඇන්නෑවේ කිව්වා වගේ දෙයක්. ජාතික ආණ්ඩුවේ ඇමතිධුර බෙදා ගැනීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග මතභේදයක් ආවොත් අගමැතිවරයාට කරන්න තියෙන්නේ ඇමතිධුර ගණන වැඩි කරලා පාර්ලිමේන්තු තීරණයක් ගන්න.
කැබිනට් එක 45ට සීමා කරන පොරොන්දුව ගැන කවුරු හරි ඇහුවත් “මට කරන්න දෙයක් නෑ, මේක පාර්ලිමේන්තු තීරණයක්” කියන්න පුළුවන්. ජනතා විමුක්ති පෙරමුණටත් ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුව ඉටු කරලා, රනිල්ට ගොඩ යන්න විවාදයක් අරන් දීලා,
“අපිනම් කිව්වේ 45ක් ඇති කියලා” කියමින් ඇඟ බේරාගන්නත් පුළුවන්. මේක හොඳටම පැහැදිලි වෙන්නනම් අර මුලින් තිබු ජාතික ආණ්ඩුවේ ඇමති ධුර ගණන 45ට සීමා කරන වගන්තිය වෙනස් කරන එකේදී මේ අයගේ ස්ථාවරය බලන්න පුළුවන්.
එකේදී විරුද්ධවුනේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර මන්ත්‍රීවරයා විතරයි. අනෙක් හැම දෙනාම ඇමතිධුර ගණන ව්‍යවස්ථාවෙන් නිර්ණය කරන බවට ජනතාවට දී තිබු පොරොන්දුව කඩ කරන්න පක්ෂ වුනා.
ජ.වි.පෙ. හිටියෙත් වරින් වර ඇමති ධුර ගණන වැඩි කරන්නේ නැතිව, පාර්ලිමේන්තුව රැස්වන මුල් දිනයේ තීන්දුවක් අරන් වැඩිකළ යුතුයි කියන ස්ථාවරයේ. (දැන් ඔවුන් රනිල්ට පහසුකම් සපයන්නේ ඒ දේ කරන්න තමයි. පාර්ලිමේන්තුව ආරම්භයේදීම ඇමති ධුර ගණන වැඩි කරන එකට නීත්‍යානුකුල භාවයක් අරන් දෙන්න)
ජ.වි.පෙ. මෙතනදී ප්‍රතිගාමී වැඩ දෙකක් කරනවා. එකක් තමයි එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස ඇමති ධුර ගණන වැඩි කර ගන්න යටිතල පහසුකම් සැපයීම. දෙවැනි එක තමයි නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ගැන විවේචනය යටපත් කරලා ඇමති වරු සංඛ්‍යාව වගේ දුර්වල තර්කයකට සමාජය කොටු කරන එක.
ඇමතිවරු ගණන වැඩි කිරීම ගැන මෙන්ම ඇමතිවරු කීයක් සමග හෝ මේ ප්‍රතිපත්තිමය වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම ගැනත් සමාජ විරෝධයක් ගොඩ නැගිය යුතුයි.
ජ.වි.පෙ. කරන්නේ ඒ සමාජ සවිඥානකත්වය දුර්වල කිරීම. එක අතකට එ.ජා.ප. ආණ්ඩුව හොඳ වැඩ කලොත් අත උස්සන්න බලාගෙන ඉන්න, එ.ජා.ප. සහ ශ්‍රී.ල.නි.ප. හවුල් ආණ්ඩු හොඳ වැඩ කරයි කියලා තමනුත් විශ්වාස කරලා ඒ විශ්වාසය සමාජයටත් එන්නත් කරන බංකොලොත් ව්‍යාපාරයකින් මීට වඩා දෙයක් අපේක්ෂා කරන්නත් බෑ.