අද රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරවයි?

Sri-lanka-Parliment

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද (24) දින රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුකරන බව දේශපාලන ආරංචි මාර්ග ඔස්‌සේ අනාවරණය විය. පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුගෙන්ම මේ පිළිබඳ කළ විමසීමේදී 24 වැනිදා රාත්‍රි පාර්ලිමේන්තුව විසුරුවන බව දැනගන්නට ලැබුණු බව ඔවුහු ප්‍රකාශ කළහ.

මැතිවරණ ක්‍රමය පිළිබඳව ඊයේ පැවැත්වූ සහ අද දිනයේ පැවැත්වෙන සභාව කල් තැබීමේ විවාදයෙන් අනතුරුව වර්තමාන පාර්ලිමේන්තුවේ කාලය අවසන් කරමින් එය විසුරුවා හරින බව ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය.

සැප්තැම්බර් මාසයේ අලුත් පාර්ලිමේන්තුවක්‌ පිහිටුවන බව මින් පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පුවත්පත් කතුවරුන් හමුවේ ප්‍රකාශ කර තිබිණි. සැප්තැම්බර් මස අලුත් පාර්ලිමේන්තුවක්‌ පිහිටුවන්නේ නම් අගෝස්‌තු මස අවසන් වෙද්දී පාර්ලිමේන්තු මැතිවරණයක්‌ පැවැත්විය යුතුය. මැතිවරණයක්‌ පැවැත්විය යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැර දින 52 ක්‌ සහ 65 ක්‌ අතර කාලය තුළදීය.

කෙසේ වෙතත් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව විසුරුවන බවට පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ජනමාධ්‍ය ඔස්‌සේ ද ඉඟි පළකර තිබිණි.

දිවයින ඇසුරෙන්

Leave a Reply