ප්‍රේමය කිමැයි සාකච්ඡා වන හැම විටම සිතට නැගෙන ගීතයක් තිබේ.සංගීතය විශ්ව භාෂාවක් බව පසක් කරන එම ගීතය සිංහල ගීතයක් නොවේ. ඉංග්‍රීසි ගීතයකි. ඒ ටයිටැනික් චිත්‍රපටයේ “මයි හාට් විල් ගෝ ඔන්” ගීතයයි. ප්‍රේමයේ රිද්මය සප්ත ස්වරයට පරිවර්තනය කළ ටයිටැනික් චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂකවරයා වූ ජේම්ස් හෝනර් තවත් අප අතර නැත.
ඔහුගේ නිල වෙබ් අඩවියේ ජේම්ස් හෝනර් ගේ සහායකයා ලෙස හඳුන්වා තිබු සිල්වියා පැට්‍රීෂියා සිය ෆේස් බුක් ගිණුමේ පසුගිය සඳුදා මේ කනගාටුදායක පුවත මුලින්ම පල කර තිබිණි. එහි මෙසේ සඳහන් විය. ” පුළුල් හදවතකින් සහ විශ්වාස කළ නොහැකි තරම් ප්‍රතිභාවකින් යුතුවූ විශ්මයජනක පුද්ගලයකු අපට අහිමි විය.”
එස් 312 වර්ගයේ ඔහුගේ නමින්ම ලියාපදිංචි කර තිබු තනි එන්ජිමේ සැහැල්ලු ගුවන් යානයක් පදවමින් සිටියදී ඔහු අනතුරට පත් විය. ඒ ඇමරිකා එක්සත් ජනපදයේ සැන්ටා බාබරා ප්‍රදේශයට සැතපුම් 60ක් දුරින් පිහිටි හුදෙකලා ජනශුන්‍ය ප්‍රදේශයකදීය. මුලින් ලැබුණු වාර්තා වල යානයේ නියමුවා හඳුනාගෙන නැති බව ප්‍රකාශ වුවද පසුව යානය පදවන ලද්දේ ජේම්ස් හෝනර්ම බව ප්‍රකාශ කෙරිණි.
හෝනර් 1953දී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් හිදී උපත ලැබුවේ 1935දී චෙකොස්ලොවේකියාවේ සිට ඇමරිකාවට සංක්‍රමණය වූ යුදෙව් ජාතික වේදිකා පසුතල නිර්මාණකරුවකුට සහ කැනඩාවෙන් සංක්‍රමණය වූ යුදෙව් ජාතික කාන්තාවකට දාවය. හෝනර් පියානෝ වාදනය ආරම්භ කළේ වයස අවුරුදු 5 දීය. පසුව ලන්ඩනයේ රාජකීය සංගීත විද්‍යාලයෙන් සංගීතයට අත්පොත් තැබූ ඔහු දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් සංගීත උපාධියක්ද පසුව පශ්චාත් උපාධියක්ද ලබා ගත්තේය. කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් සංගීතය පිලිබඳ ආචාර්ය උපාධියක්ද ලැබූ හෝනර් ඇමරිකානු චිත්‍රපට ආයතනයේ කථිකාචාර්ය වරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
1979දී තමන් සංගීතය නිර්මාණය කළ ප්‍රථම චිත්‍රපටය වන The Lady in Red තුලින්ම රසික හා විචාරක අවධානයට පාත්‍රවූ හෝනර් 1982දී Star Trek II ; The Wrath of Khan තුලින් පළමු පෙලේ සිනමා සංගීතඥයන් අතරට එක්විය. පසුව Star Trek III ; The Search for Spock (1984), Commando (1985) වැනි ක්‍රියාදාම චිත්‍රපට තුල මෙන්ම තවත් කලාත්මක චිත්‍රපට ගණනාවක් තුලින් ඔහු සිය අසාමාන්‍ය කුසලතාවය ප්‍රකට කළේය. ලංකාවේ අප අතර බෙහෙවින් ජනප්‍රිය වූ Aliens (1986), Brave Heart (1995), Titanic (1997), A Beautiful Mind (2001), House of Sand and Fog (2003), Troy (2004), Avatar (2009) හා The Amazing Spider Man (2012) මේ අතර ප්‍රධාන වේ. ඔහු සංගීතය මුසු කළ Enemy At The Gates සහ Brave Heart වැනි සිනමා පටවල සංගීතය සැමදා මතකයේ රැඳෙන අමරණීය ලක්ෂණ වලින් යුක්තය. ඔහු නිර්මාණය කල Whatever You Imagine (The Pagemaster චිත්‍රපටය) My Heart Will Go On (Titanic චිත්‍රපටය) සහ I See You (Avatar චිත්‍රපටය) ගීත ඉතා මියුරු වූ අතර ඒවා හොලිවුඩ් සිනමාව බොලිවුඩ් සහ ආසියානු සිනමාව මෙන් ගීතවත් කළ නිර්මාණ ලෙස සැලකේ. 2009 වසරේදී ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පත සමග සාකච්ඡාවකදී ඔහු මෙලෙස පැවසීය.
“අපට කෙනෙකු අහිමි වනවිට, කෙනෙකු දිනන විට, කෙනෙකු පරදින විට, තවත් කෙනෙකු අතුරුදහන් වනවිට, හදවතට දැනිය යුතු හැගීම සොයා මම සංගීත භාණ්ඩ වෙහෙසනවා. එයයි මගේ මුලික වගකීම”
සැබවින්ම ඔහු අපේ හදවතට දැන් දැනෙන හැගීම නොව මනුෂ්‍යත්වයේ නාමයෙන් දැනිය යුතු හැගීම සොයා යන වීර චාරිකාවකට අපව යොමු කළේය.