අජිත් කුමාර ගෙනාපු පනතට සහය නැත්නම් මහ මහමැතිවරණයේදී පුද්ගලික සේවකයින්ගේ ඡන්දෙ නෑ – ඇන්ටන් මාකස්

Media-conference-20150623-04

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පෞද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප රුපියල් 2,500කින් වැඩිකිරීමේ පනත හිතා මතා ප්‍රමාද කිරීම හා ඒ අතරතුර පාර්ලිමේන්තුව විසුරවා හැරීමට කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් පවසයි.

මේ පාර්ලිමේන්තුවේද හාම්පුතුන්, සේවායෝජකයින්, සමාගම් හිමියන් හා ඔවුන් සමඟ සම්බන්ධකම් ඇති මන්ත්‍රීවරුන් සිටින බවත් එබැවින් අදාල පනත සම්මත කරගැනීමට කටයුතු නොකරන කිසිම මන්ත්‍රීවරයෙකුට මීලඟ මැතිවරණයේදී ඡන්දය ලබා නොදීමට අසූ ලක්ෂයක් වන පුද්ගලික අංශයේ සේවකයින්ව පෙළ ගස්වන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ අදහස් පලකළේ මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහා අද (23) දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති විසින් සංවිධානය කළ මෙම මාධ්‍ය හමුවේ අදහස් දැක්වීම නිදහස් වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස් හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් කුමාර විසින් සිදුකළ අතර මේ සඳහා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් වෛද්‍ය රණසිංහ ද සහභාගී විය.

Media-conference-20150623-01

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෙළඳ කළාප හා පොදු සේවක සංගමයේ සම ලේකම් ඇන්ටන් මාකස්

මේ මාධ්‍ය සාකච්ඡාව ලංකා ඉතිහාසයේ මෙවැනි කාරණාවක් සම්බන්ධයෙන් පවත්වන ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව. මේ වන තෙක් වෘත්තීය සමිතියක් පුද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කරලා නෑ.

පහුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය අංශයේ සේවකයන්ට රුපියල් 10,000 ක වැටුප් වැඩි කිරීමක් සම්බන්ධයෙන් ආණ්ඩුව පොරොන්දු වුණා. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ ප්‍රකාශයේ පුද්ගලික අංශයේ සෙවකයන්ගේ වැටුප් වැඩිකිරීමක් ගැන කිසිවක් සඳහන් වුණේ නෑ. විශේෂයෙන් අපේ සංගමයේ බලපෑම මත ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා, තමා බලයට ආවොත් පුද්ගලික අංශයේ සේවකයන්ගෙත් වැටුප් වැඩිකරනවා කියලා. ඒ බලපෑමේ ප්‍රතිඵලයක් විදියට පහුගිය අතුරු අයවැයෙන් පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2,500කින් වැඩිකරන්න කියලා යෝජනා කළේ. ඒක වුණත් පනතක් ගෙන බවක් ප්‍රකාශ කළේ නෑ. හාම්පුතුන්ගෙන් ඉල්ලීමක් කළා විතරයි. නමුත් අපේ ඉල්ලීම තිබුණේ රුපියල් 5,000ක පඩි වැඩි කිරීමක්. නීතියකටවත් ක්‍රියාත්මක නොවන හාම්පුතුන් ඉන්න මේ රටේ ඉල්ලීමක් කළා කියලා ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා ඔය කියන 2,500 වැටුප් වැඩිවීම පුද්ගලික අංශයේ සේවකයින්ට ලැබිලා නෑ. ඒ නිසා අපි දිගින් දිගටම ආණ්ඩුවට බලපෑම් කළා පනතක් මාර්ගයෙන් මේක නීතිගත කරලා ක්‍රියාත්මක කරන්න කියලා.
ඒ නිසා අපි දිගින්දිගටම උද්ඝෝෂණ කරලා ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් බලපෑම් කළා. ඒ තත්ත්වය නිසා තමයි පුද්ගලික අංශයේ සේවකයින්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් පනතක් ගෙන්න කියලා, අප්‍රේල් 07 වෙනිදා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරන්න ආණ්ඩවට සිදුවුණේ. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නෑ. දිගින් දිගටම කරපු අපේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් විදියට අප්‍රේල් 06 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්තයා වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් දුන්නා.

ඒ සාකච්ඡාවෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වා රුපියල් 2,500 පඩි වැඩිකිරීම දෙපාරකට කරන්නම්, පළවෙනි පාරට 1,500ක පඩි වැඩිකිරීමක් කරන්නම් කියලා. අපි කිව්වා අපි ඒකට විරුද්ධයි, අපි ඉල්ලුවෙ රුපියල් 5,000ක පඩි වැඩි කිරීමක්, නමුත් ඔබතුමාලා දුන්නේ රුපියල් 2,500ක පඩි වැඩිකිරීමක් ඒකත් රුපියල් 1,500 දක්වා අඩුකරනවාට අපි විරුද්ධයි කියලා. කොහොම වුණත් අපේ විරුද්ධත්වය නොතකාම පාර්ලිමේන්තුවට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒක ඉදිරිපත් කළේ රුපියල් 40,000ට අඩු වැටුප් ලබන අයට පියවර දෙකකින් වැටුප් වැඩිකිරීමටත්, සාමූහික ගිවිසුම් මගින් වැටුප් වැඩිකරපු අයට ඒ අඩුකිරීම් කරන්නත් කියන කොන්දේසි යටතේ. පහුගිය මැයි පළවෙනිදා එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේදී ලොකුවට ප්‍රකාශ කළ මැයි පළවෙනිදා ඉඳලා මේක ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් අද වෙන තුරු පුද්ගලික අංශයේ සේවකයින්ට මේ වැටුප් වැඩිකිරීම ලැබිලා නෑ.

ඒ නිසා අපි පනතක් ගේන්න කියලා දිගින් දිගටම බලපෑම් කළා. නමුත් අපිට පේනවා මේ පනත ගේන එක හාම්පුතුන් විසින් වලක්වලා තියෙනවා කියලා. හාම්පුතුන් මේ උත්සාහ කරන්නේ පුද්ගලික අංශයේ සේවකයන්ගේ අද තියෙන රුපියල් 9,400ක් වන අවම වැටුප ඒ ගණනේම තියාගන්න. මීට පෙර පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න 1978 අයවැය සහන දීමනා පනත හා 2005 අයවැය සහන දීමනා පනත විදියට මේ රටේ පනත් දෙකක් ගෙනත් තියෙනවා. ඒ නිසා පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න ආණ්ඩුවට බෑ කියලා හාම්පුතුන්ට කියන්න බෑ.

මේ තත්ත්වයන් යටතේ අපේ සංගමය තීරණයක් අරගෙන පුද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප රුපියල් 2,500කින් වැඩි කිරීම සඳහා පනත් කෙටුම් පතක් අපි සකස් කෙරුවා. ඒක අපි සියළුම මන්ත්‍රීවරුන්ට යවලා ඉල්ලීමක් කළා පාර්ලිමේන්තුවේ තියෙන බලතල අනුව පුද්ගලික පනතක් විදියට මේක ගේන්න කියලා. අජිත් කුමාර මන්ත්‍රීතුමා ඉදිරිපත් වුණා, මේක පුද්ගලික පනතක් විදියට ගේන්න සූදානම් කියලා. අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා ඒ සම්බන්ධයෙන්. ඒ අනුව අපි අජිත් කුමාර මන්ත්‍රීතුමා එක්ක සාකච්ඡා කරලා දිගින් දිගටම මේ පිළිබඳව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් විදියට මේකට අදාල ගැසට් නිවේදනය ජුනි පළවෙනිදා නිකුත් කරලා තියෙන්නේ.

දැන් මේ පනත් කෙටුම්පත සම්මත කරවා ගැනීම සඳහා වෘත්තීය සමිතියක් විදියට අපි ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමට සූදානමින් ඉන්නවා. ඒ අනුව අපි මේ ගැසට් පත්‍රය සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරලා ඉල්ලීමක් කළා මේ පනත සම්මත කිරීමට ඔබගේ ඡන්දය ලබාදෙන්න කියලා. අජිත් කුමාර මන්ත්‍රීතුමා දැනුම් දුන්නා අද හවස රැස්වෙන පාර්ලිමේන්තුවේදී මේක සභාගත කරනවා කියලා. ඒ නිසා මේ සම්බන්ධයෙන් සියළුම පක්ෂ නායකයින් සමඟ අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ කම්කරුවාගේ ජීවන තත්ත්වය නගාසිටුවීම ගැන කිසියම් මන්ත්‍රීවරයෙක් උනන්දුවක් දක්වනවානම් දැන් මෙන්න අවස්ථාව තියෙනවා මැදිහත්වෙලා මේ පනත සම්මත කරන්න කටයුතු කරන්න.

නමුත් මේ පනත හිතා මතා ප්‍රමාද කරලා ඒ අතරතුර පාර්ලිමේන්තුව විසුරවා හරින්න කිසියම් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව අපිට පේනවා. මොකද අපි දන්නවා මේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා හාම්පුතුන්, සේවායෝජකයින්, සමාගම් හිමියන්, ඔවුන්ට සම්බන්ධකම් තියෙන මන්ත්‍රීවරුන්. ඒ අයට වුවමනාව තියෙනවා මේක පාරිලිමේන්තුව විසරවීමට පෙර ගේන්නෙ නැතුව හුදෙක් ඉල්ලීමක් පමණක් කරලා පවත්වාගෙන යාමට. ඒ නිසා මේක ක්‍රියාත්මක කරගැනීම සඳහා අපි පුද්ගලික අංශයේ සේවකයින්ව වහ වහ පෙළගස්වනවා. අපි පක්ෂ නායකයින්ට මේ සම්බන්ධයෙන් දැනුම්දීලා තියෙනවා. පුද්ගලික අංශයේ සියළුම වෘත්තීය සමිති මේ වෙනුවෙන් පෙළගැස්සවීමට අපි පියවර අරගෙන තියෙනවා. පුද්ගලික අංශයේ සේවකයින් සියළුදෙනාම ජූලි මාසේ 05වෙනිදා කොළඹ විහාරමහා දේවී උද්‍යානයට කැඳවන්න අපි කටයුතු කරනවා. එහිදී තම ප්‍රදේශයේ ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ පනත සම්මත කිරීමට ඡන්දය පාවිච්චි කරන්න කියලා බලපෑම් කරන්න අපි තීරණයක් ගන්නවා. මේ පනත සම්මත කිරීමට ඡන්දය නොදීමට කිසිම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හේතුවක් තියෙන්න බෑ. ඒ වගේම මේ පනත සම්මත කරගැනීමට කටයුතු නොකරන කිසිම මන්ත්‍රීවරයෙකුට ලඟ එන මැතිවරණයේදී ඡන්දය දෙන්න එපා කියලා අපි අසූ ලක්ෂයක් වන පුද්ගලික අංශයේ සේවකයින්ව පෙළ ගස්වනවා.

Leave a Reply