සිතීමේ වරදට මරණයට නියමවූ පලස්තීන කවියා

fayad1

ආගමික අන්තවාදය විසින් යුරෝපය අවුරුදු දහසක් අන්ධකාරයේ ගිල්වා දමනු ලැබීය. එම අන්ධකාරයෙන් මිදීමට නම දන්නා ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ට සහ නම නොදත් තවත් දස දහස් ගණනකට ජීවිත පිදීමට සිදු විය. පෘථිවිය වටා හිරු කරකැවෙනවා නොව, හිරු වටා පෘථිවිය කරකැවෙනවා යැයි කීමේ වරදට නිකලස් කොපර්නිකස්ට ද`ඩුවම් හිමි විය. සත්‍ය වෙනුවෙන් සොක‍්‍රටීස්ට වස පානය කොට මිය යාමට සිදු විය. දෙවියන් පිළිබඳ සැක කළ නිසා ගෝර්ඩියනෝ බෘනෝට කුරිරු  ද`ඩුවම් හිමි විය. ආගමික අන්තවාදය ඒ තරම්ම කුරිරුය. පිටුදැකිය යුතුය.

මැද පෙරදිග කලාපයේ දැන් නැෙඟමින් පවතින ඉස්ලාම් අන්තවාදයද එම කලාපයේ ජනතාව ගෙන යමින් සිටින්නේ මහා අන්ධකාරයක් වෙතය. ඝාතනය වීමට නියමිතව සෞදි අරාබියේ බන්ධනාගාරයක් තුළ දවස් ගෙවමින් සිටින අෂ්රෆ් ෆයාද් මුහුණ පා සිටින්නේ එම ඉරණමටය.

අෂ්රෆ් ෆයාද් උපත ලබා ඇත්තේ සෞදියේ වුවත් ඔහු පලස්තීන ජාතිකයෙකි. එහෙත් සරණාගතයකු ලෙස ඔහු යළිත් සෞදියට  පැමිණ ඇත.

ෆයාද් බි‍්‍රතාන්‍ය-අරාබි කලා සංවිධානයේ ක‍්‍රියාකාරිකයකු වන අතර නිදහස් චින්තකයෙකි. උපතින් ඉස්ලාම් භක්තිකයකු වුවත් ආගමික ඉගැන්වීම් දෙස විචාරශීලිව බලන්නෙකි. ඒ නිසා ඔහුගේ නිර්මාණ ඉස්ලාම් ඉගැන්වීම් සමඟ දක්වන්නේ පරස්පරයකි. ඔහුගේ සිතීමද එම ඉගැන්වීම්වලට එකඟ නැත.

ෆයාද් මරණ දඬුවමට හෙවත් ඝාතනය කරනු ලැබීමට නියමව සිටින්නේ මේ නිසාය. ඔහු විසින් රචනා කරන ලද කවි, ඔහුගේ නිර්මාණ පමණක් නොව ඔහු සමාජජාල වෙබ් අඩවි හරහා පවසන අදහස්ද සෞදි ආගමික අන්තවාදයේ උදහසට ලක්ව තිබේ.

පළමුව 2013 වසරේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. පසුව ඇප මත නිදහස් කර තිබේ. ඉන් පසුව 2014 වසරේදී නැවතත් අත්අඩංගුවට පත්වන අතර එහිදී ඔහුට නියම වන්නේ වසර හතරක සිර දඬුවමක් හා කස පහර 800කි. පසුගිය නොවැම්බර් 17 වැනිදා මරණ දඬුවම නියම කරන්නේ එසේ තිබියදීය.

‘පෙන් ජාත්‍යන්තරය’ නමැති කලාකරුවන්ගේ සංවිධානය පෙන්වා දෙන අන්දමට ෆයාද්ට තවමත් නීතිඥයකුගේ සහාය හෝ ලැබී නැත. ඔහුට ඇත්තේ දින 30ක අභියාචනා කාලයක් පමණි. කෙසේ වෙතත් ලොව පුරා දහස් ගණනක් ලේඛකයෝ මෙන්ම ලක්ෂ ගණනක් ජනතාවද ෆයාද් නිදහස් කරන්නැයි ඉල්ලා සිටිති. මේ වන විට බි‍්‍රතාන්‍යයේ රැුකවරණ ලබමින් සිටින සල්මන් රූෂ්ඩිටද ඉස්ලාම් අන්තවාදීන්ගෙන් තර්ජන එල්ල වී තිබේ. ඒ ඔහු ඉස්ලාම් ආගමට පටහැනි දේ පවසන නිසාය.

සෞදි අරාබියේදී ලාංකිකයන් රැසකටද මෙම අත්දැකීමට මුහුණ දීමට සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි. වරක් බුදු පිළිමයක් ළඟ තබා ගැනීම නිසා කාන්තාවක් දණ්ඩනයට ලක් වූවාය.

 ඕනෑම අයකුට  ඕනෑම ආගමක් ඇදහීමට මෙන්ම කිසිදු ආගමක් නොඅදහා සිටීමටද අයිතියක් ඇත.  ඕනෑම අයකුට කිසියම් මතයක් දැරීමට අයිතියක් තිබේ. එම මතය ප‍්‍රකාශ කිරීමටද අයිතියක් තිබේ. මතයක් දැරීම නිසා යමෙකුට දණ්ඩනයට ලක්වීමට සිදු වන්නේ නම් එය මනුෂ්‍යත්වයට නිගා දෙන සිදුවීමක් මිස අන් කුමක්ද? මනුෂ්‍යත්වය ගොඩනැඟීමට යැයි බිහි වූ ආගම් අන්තවාදය කරා ගිය විට එයම මනුෂ්‍යත්වයට නිගා දෙන්නක් බවට පත් වේ. අපටද කීමට තිබෙන්නේ ‘අෂ්රෆ් ෆයාද් නිදහස් කරනු!’ යන්නයි.

ජනක තුෂාර