தமிழ்
English
Contact
Thursday 2nd November 2017    
“එල්මෝ ප්‍රනාන්දු  කොළඹ සිට…“ – නැවත ඒ කටහඩ ඇසෙන්නේ නැත ! « Lanka Views | Views of the truth

“එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට…“ – නැවත ඒ කටහඩ ඇසෙන්නේ නැත !



“බීබීසී ලෝක සේවයේ එල්මෝ ප්‍රනාන්දු කොළඹ සිට….“ ඒ ප්‍රතාපවත් හඩින් තවත් ඔහු අපට පුවත් වාර්තා කරන්නේ නැත.
ජනමාධ්‍ය ක්ෂෙත්‍රයේ පමනක් නොව, ශ්‍රාවකයන් ලෙස ඔහුට ආදරය කළ සැමගෙ නෙත් අග කදුළක් අමුණා ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදී එල්මෝ ප්‍රනාන්දු අගෝස්තු (10) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
1967 වසරේ ගුවන් විදුලි සංස්ථාවෙන් ජනමාධ්‍ය වෘත්තියට එක්වූ එල්මෝ 1984දී ගුවන් විදුලි සංස්ථාවෙන් සමුගන්නා විට වාර්තාකරුවකු, වැඩසටහන් නිෂ්පාදකයකු මෙන්ම නිවේදකයෙකු ලෙසද කටයුතු කර තිබිණි. ඉන් අනතරුව ඔහු පිලිපීනයේ මැනිලා අගනුවර සිට විකාශය වූ කතෝලික ආයතනයකින් මෙහෙයවන ලද ‘වෙරිටාස්‘ ගුවන් විදුලි සේවයට සම්බන්ධ විය.
1987-89 අරගලයේදී රාජ්යව මර්දනය පිලිබද බොහෝ තොරතුරු ලෝකයට හෙලිදරව් කිරීමට ඔහු එම කාලයේ වෑයම් කලේය. ඒ නිසාම වරින් වර රාජ්‍ය තර්ජනයන්ට පවා මුහුන දෙන්නට ඔහුට සිදු විය. 1994දී ලන්ඩනයේ බීබීසී ගුවන් විදුලියේ සිංහල අංශයට එක් වීමෙන් පසු විසි වසරක කාලයක් කොළඹ වාර්තාකරු ලෙස එල්මෝ කටයුතු කළේ ය. කළක් රෝගාතුරව සිටි මෙම ජ්‍යෝෂ්ඨ මාධ්‍යවේදියා අභාවයට පත්වනවිට 75වන වියේ පසු විය.
ඔහුගේ නිසල දේහය ඊයේ (11) බත්තරමුල්ල, පැලවත්ත, අරුප්පිටියේ පිහිටි නිවසෙන් පැලවත්ත ඓතිහාසික රෝමානු කතෝලික දේවස්ථානයට ගෙන ගොස් එම දේවස්තාන සුසාන භූමියේදී භූමදාන කරන ලදී.

අවසන් වශයෙන්, අපගේ ජ්‍යෝෂ්ඨ ජනමාධ්‍ය සගයාගේ අඩසියවසකට ආසන්න වෘත්තික ජීවිතය පිළිබද සටහනක් නොතියාම බැරිය. සිය අත්දැකීම් සමුදාය නිහතමානි ලෙස නවක ජනමාධ්‍යකරුවන්ගේ අවබෝධය වෙනුවෙන් බෙදාගන්නට ඔහු කිසිදු විටක මැලි නොවීය. එපමණක් නොව, බොහෝ මාධ්‍යවේදීන් දේශපාලන නායකයන් වෙත අඩදැණිව සිය වෘත්තිය බාල්දු කරන විට කොන්දක් ඇති ජනමාධ්‍යවේදියකු ලෙස ඔහු දුන් ආදර්ශය කිසිදා අපට අමතක කළ නොහැකිය.

ස්තූතියි එල්මෝ!

 

සේයාරූ ඇසුරෙන් එල්මෝ

(කාච සටහන් – අනුරුද්ධ ලොකුහපුආරච්චි, මනෝජ් රත්නායක, ප්‍රසාද් පුර්නිමාල්, නාමල් පෙරේරා)




Related News