මුදලට වෛද්‍ය උපාධිය විකිණීම සම්බන්ධයෙන් විරෝධයට ලක්ව ඇති මාලබේ සයිටම් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඝාතනය කිරීමේ උත්සාහයක් පිළීබද කළ පරික්ෂණවලදී එය සිදුව ඇති ආකාරය පිළිබද පරස්පර සාක්ෂි හමුව ඇති බව පොලිසිය පවසයි.
සමීර සේනාරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් ඔහුගේ ප්‍රකාශ සහ පොලිසියට ලැබී ඇති සාක්ෂි නොගැලපෙන බවක් එම සිද්ධිය විමර්ශනය කරන පොලිස් කන්ඩායම විසින් නිරික්ෂනය කර තිබේ. සිදුවීමට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව ලැබෙන තෙක් මෙම වෙඩිතැබීමේ සිදුවීම සම්බන්ධව ස්ථීර නිගමනයකට එළඹිය නොහැකි වුවද පොලිසිය විසින් එම මෝටර් රථය හා අනතුරේ ස්ථානීය පරික්ෂාව තුළින් සොයාගත් වැදගත් සාක්ෂි විස්මය උපදවන බව හෙළිවී තිබේ. මේවන විට විමර්ශනයේ යෙදෙන නිලදාරින් පවසන ආකාරයට සිද්ධිය සිදුවූ ස්ථානය අවටින් ලබාගත් සී.සී.ටී.වී දර්ශන ඇසුරෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන්නට නියමිතය.
රජයේ රස පරීක්ෂක දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට සිද්ධියට අදාළ වාර්තාව සති තුනක් ඇතුළත නිකුත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායමක් විසින් මිනිස් අනුරුවක් යොදා ගෙන සිදුකළ පරික්ෂණයකදී අනාවරණය වූයේ සමීර සේනාරත්නට වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ සිටියේ නම් ඔහුට අනිවාර්යයෙන් වෙඩි වැදිය යුතු බවයි. නමුත් ඔහුට කිසිදු සීරීමක් හෝ සිදුවී නොතිබීම නිසා ඔහු සත්‍ය වශයෙන්ම මෝටර් රථය තුල සිටියාද යන්න සැකසහිත බව පෙනී යයි. එසේම සිද්ධිය පරික්ෂා කරන අවස්ථාවේ ඇසින් දුටු සාක්ෂි අනුව වෙඩි පහරින් බිදිගිය වීදුරු කැබලි පවා මෝටර් රථයේ රියදුරු අසුන අසළ දොරෙහි රැදී තිබී ඇත. ඒ අනුව පැහැදිලි වන්නේ රියැදුරා එම දොර විවෘත කර පිටතට පැමින නැති බවයි.
මෙබදු පසුබිමක වෙඩි තැබීමට ලක්වූ බව කියන සමීර සේනාරත්නගේ ඇදුම් හා මෝටර් රථය රජයේ රස පරීක්ෂක වෙත යොමු කර ඇත. ඔහු විදෙස්ගතව සිටින නිසා මේ සම්බන්ධව ප්‍රකාශයක් පවා ගන්නට නොහැකි තත්වයක් උද්ගතව තිබේ.