සයිටම් අභියාචන විභාගයෙන් විනිසුරු ඉවත්වෙයි

වෛද්‍ය උපාධිය හදාරන්නට මුදල් ගෙවන සිසුන්ට සයිටම් ආයතනය විසින් ලබාදෙන වෛද්‍ය උපාධිය පිළිගන්නා ලෙස දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනු කළ අභියාචන පෙත්සම් විභාගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ ඉවත් වී ඇත.

සයිටම් ආයතනයෙන් පිටවන සිසුන්ට වෛද්‍ය වෘත්තිකයින් ලෙස ලියාපදිංචි කළ යුතු බවට තීන්දු කරමින් දෙන ලද අභියාචනාධිකරණ තීන්දුව අභියෝගයට ලක් කරමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කළ  මෙම පෙත්සම ඊයේ (31) සලකා බැලීමට නියමිත විය. එම පෙත්සම ඉදිරිපත් වූයේ සිසිර ද ආබෲ ,අනිල් ගුණරත්න සහ විජිත් මළල්ගොඩ යන  විනිසුරු මඩුල්ලක් හමුවේය. එම අවස්ථාවේදී  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ අධිකරණය හමුවේ ප‍්‍රකාශ කර සිටියේ තමන් මීට අභියාචනාධිකරණ විසින් සයිටම් ආයතනය සම්බන්ධයෙන් ලබා දුන් මෙම නඩු තීන්දුවට සහභාගී වී ඇති බැවින් නඩු විභාගයෙන් ඉවත් වන බවයි.