එකා පිට එකා වැටුණත් අපි අරගලය අත්හරින්නෙ නෑ – අ.වි.ශි.බ.ම. වැඩ බලන කැදවුම්කරු
Posted on 07.07.2017 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
නිදහස් අධ්‍යාපනය වළදැමීමේ ආණ්ඩුවේ සැලැස්මේ සංකේතයක් බදු සයිටම් ආයතනයේ ප්‍රමිතිය ඇති කිරීමෙන් එයට වලංගුභාවයක් ලබාදීමට තමන් එකග නැති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු මංගල මද්දුමගේ පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ ජූලි 5 වැනිදා නුගේගොඩදී පැවැති ‘සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරයේ රැළිය අමතමිනි.
“අපේ නායකයන් හිරේ දමලා විතරක් නෙවෙයි, එකා පිට එකා මැරී වැටුණත් මේ රටේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් සයිටම් අහෝසි කිරීමේ අරගලය අපි ඉදිරියට ගෙන යනවා. මීට අවුරුදු 9ට කළින් අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ කළ මේ සයිටම් අරගලයට දැන් මවුපියන්, ගුරුවරුන්?, වෘත්තිය සමිති නියෝජිතයන්, දේශපාලන පක්ෂ යන මේ සියලු දෙනාම සහයෝගය පළ කරනවා. ඒ අනුව අපට කියන්න පුලුවන් මේ රටේ සමස්ත ජනතාවම මෙම අරගලයේදී නියෝජනය වන බවයි. අවිශිබම කැදවුම්කරු ළහිරු සහෝදරයා ඇතුළු 5දෙනෙක් අද වනවිට සිරගත කර තිබෙනවා. එක් සගයෙක් හිරේ දැම්මට මේ අරගලය නතර කරන්න බෑ. පාලකයන් දැනගතයුතුයි එක් සගයෙක් වෙනුවට දහයක් අරගලයේ පෙරමුණ ගන්න ඉන්න බව. ආණ්ඩුවේ මෝඩ තීන්දුවලින් මේ අරගලය මර්දනය කරන්න බැරි බව අද මේ නුගේගොඩදි ඔප්පු කරන්න අපට හැකි වී තිබෙනවා. අපට සයිටම් අහෝසි කරන්න කියා හඩනගන්න වුනේ ප්‍රතිපත්තිමය කාරණා නිසයි. ඒකෙ ප්‍රමිතිය හැදුවා කියලා එකග වෙන්න අපට බෑ. මොකද කිරිඇල්ල ඇමතිවරයා කිව් ආකාරයට මේ සයිටම් එක පස්සෙන් තව අධ්‍යාපන කඩ පේළියක් සනාථ කරගන්න හැකියාව ලැබෙනවා. මේකට ඉඩ දෙනවා කියන්නෙ මේ රටේ දුක්විදින අම්මලගෙ තාත්තලගෙ දරුවන්ට දැනට තිබෙන සුලු අධ්‍යාපන අවස්ථා පවා අහිමි වෙනවා කියන එකයි. අප මේ ආයතනය වහලා වෛද්‍ය විද්‍යාලයක් ලෙස ජනසතු කරන්න කියන්නෙ ඒකෙන් මේ රටේ සාමාන්‍ය ජනයාගේ දරුවන් වන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අධ්‍යාපන අවස්ථා වැඩිවෙන නිසා.
අප කියනවා මේ රටට තවත් අධ්‍යාපන කඩ එපා. අධ්‍යාපනය හා සෞඛ්‍ය කියන සේවාවන් විකිණීමේ සැලසුම් අහෝසි කරන්න කියන ඉල්ලීම අපට තිබෙනවා. අධ්‍යාපනය විකිණීමේ සැලසුම් අකුලා ගන්න. සෞඛ්‍ය සේවය විකිනීමේ සැලසුම් එක්ක සයිටම් නීතිගත කිරීම බැදී තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා අතරමැද විසදුම් නෑ. තියෙන්නෙ එකම විසදුමයි. ඒ තමයි හොර සයිටම් උපාධි කඩය අහෝසි කිරීමයි. ඒ විසදුම ලබාදෙන තෙක් අපි එකා පිට එකා වැටුනත් මේ අරගලය ගෙන යනවා!“