වෙඩිතැබීමේ ශූරතා තරගාවලියෙන් ලංකාවට ලෝක ශූරතාවයක්!

2016.07.21 Shooting champions

12 වැනි ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබීමේ තරගාවලියේ (International Metallic Silhouette Shooting Union (IMSSU) ලෝක ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම සමස්ත තරගාවලියේදී, රන් පදක්කම් 18ක්, රීදී පදක්කම් 09ක් සහ ලෝකඩ පදක්කම් 11ක් සමගින් පදක්කම් 38ක් දිනාගැනීමට සමත්විය.

යුද හමුදාව නියෝජනය කරමින් සහභාගි වූ කපිතාන් පී.කේ.ජී.එස්. ගයංග සමස්ත තරගාවලියේදී රන් පදක්කම් 08ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කමක් දිනා තිබේ. ඒ අනුව, ඔහු කුඩා සිදුරු සැහැල්ලු රයිෆල් සහ කුඩා සිදුරු ඡායා රයිෆල් ඉසව්වේ ලොව අංක එකේ වෙඩි තැබීමේ ශූරයා බවට පත් විය. තරගාවලිය සදහා ලංකා කණ්ඩායමේ කළමනාකරු සහ ක්‍රීඩක ලෙස සහභාගි වූ මේජර් සංජීව රත්නායක රන් පදක්කම් 05ක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 05ක්ද දිනාගැනීමට සමත් විය. යුද හමුදා බලලත් නිලධාරී නන්දන වීරසිංහ රන් පදක්කම් 04ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 03ක්ද, කණ්ඩායම් නායක බි‍්‍රගේඩියර් සුදර්ශන වැලිකල රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02ක්ද, කෝප‍්‍රල් රොෂාන් ගුණවර්ධන රිදී පදක්කමක්ද දිනාගැනීමට සමත් වූහ. මීට අමතරව, ජාත්‍යන්තර ලෝහක ඡායා වෙඩිතැබීමේ තරගාවලියේ කනිෂ්ඨ අංශය සදහා සහභාගි වූ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ ඉෂාර අඹේපිටිය රිදී පදක්කම් 02ක් දිනාගැනීමට සමත් විය.

ජූලි 02 වැනිදා සිට 16 වැනිදා දක්වා දකුණු අප‍්‍රිකාවේ බ්ලුපොන්ටන්හිදී පැවැති මෙම තරගාවලියට ලංකාව නියෝජනය කරමින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි විය. ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලියේදී, කුඩාසිදුරු සැහැල්ලු ඡායා රයිෆල් වෙඩිතැබීම, කුඩාසිදුරු සැහැල්ලු ඡායා විවෘත රයිෆල් වෙඩිතැබීම, විශාල සිදුරු දඩයම් රයිෆල් වෙඩිතැබීම, වායු රයිෆල් සහ වායු පිස්තෝල වෙඩිතැබීම යන තරග ඉසව් යටතේ තරග කළේය.

මෙවර තරගාවලිය සඳහා ප්‍රංශය, ජර්මනිය, නවසීලන්තය, නෝර්වේ, ෆින්ලන්තය හා සත්කාරක දකුණු අප්‍රිකාව ඇතුළු තවත් රටවල් කිහිපයකින් කණ්ඩායම් සහභාගි විය. තරගාවලියේ අනුශූරතාව ප්‍රංශයට හිමි වූ අතර, සත්කාරක දකුණු අප්‍රිකාවට හිමිවූයේ තෙවැනි ස්ථානයයි.

2016.07.21 Shooting champs

Leave a Reply