පසුගිය 16 වෙනි දින යාපනය සරසවියේ විද්‍යා පිඨයේ සිංහළ හා දමිළ සිසුන් අතර ඇතිවූ ගැටුමෙහි වගකීම විශ්ව විද්‍යාල පාලනාධිකාරය සහ රජය විසින් භාරගතයුතු බව ‘වමේ හඬ’ සංවිධානය ජනමාධ්‍ය නිවේදනයකින් පවසයි. විශ්ව විද්‍යාලය තුළ කාලයක් තිස්සේ සිංහළ, දමිළ, මුස්ලිම් සිසුන්ගේ සැකය අවිශ්වාසය වර්ධනය වන සිදුවිම් රාශියක් සිදුවෙමින් පැවති බව පෙන්වා දෙන එම සංවිධානය සිය නිවේදනයන්මෙසේද පවසා සිටී.
විශ්ව විද්‍යාලය තුළ විහාරයක් සෑදිමට යෝජනා කරමින් විශ්ව විද්‍යාලය තුළ ඇළවූ පෝස්ටර් ව්‍යාපාරය, මුස්ලිම් සිසුන්ගේ යාඥා කාමරයට කළු තෙල් ගැසීම සහ තවත් නොසිදුවිය යුතු ක‍්‍රියාකාරකම් රැසක් විශ්ව විද්‍යාලය තුළ සිදුවීම මේ ගැටුමේ ආසන්න ඉතිහාසය බව සිසුන් සඳහන්කර සිටී.
යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළත් කරන සිංහල සිසුන්ගේ ප‍්‍රමාණය එන්න එන්න වැඩිකරමින් තිබේ. විද්‍යා පීඨයට මෙවර සිසුන් ඇතුළත් කිරීමේ දී සිසුන් සංඛ්‍යාව 50% ඉක්මවා ඇති බව කියැවේ. සිංහල අධිපති මානසිකත්වයකින් කටයුතු කරන විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂම මෙන්ම ආණ්ඩුව ද මේ තත්වයන්ට වගකිව යුතුව තිබේ. විශ්ව විද්‍යාල පාලනාධිකාරය ද මේ දුරස්වන සිසු සබඳතාවයන් පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන බවක් නොපෙනේ.
මේ අතර දකුණේ ජාතිවාදී බලවේග මෙම සිද්ධිය දඩමීමා කරගෙන රටතුළ ජාතිවාදි ගිනිදැල් ඇවිලීමේ උත්සාහයක නියැලෙමින් සිටීම කණගාටුවට කරුණකි. ආණ්ඩුව තුළ සිටින හා ආණ්ඩුවෙන් පිටත සිටින මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ජාතිවාදී බලවේගයන්ට මේ සිදුවීම ප‍්‍රණීත රස බොජුනක් වී තිබේ.
මේ සිදුවීම නැවත සිහිපත් කරනුයේ ජාතින් අතර සංහිදියාව ගැන කථා කරමින් සිටීම නොව ජතීන් අතර පවතින අවිශ්වාසය, විශේෂයෙන් දමිළ ජනතාව මුහුණ දෙන පීඩාකාරී වටපිටාව තෙරුම් ගැනිමට සමත් හා කල්පවත්නා දේශපාලන විසඳුමක අවශ්‍යතාවය බව ‘වමෙ හඬ’ සංවිධානය දැඩිව අවධාරණය කර සිටී.