හලාවත, බිංගිරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක වන කම්හලකින් සිදුකරන භයානක පාරිසරික හානි පිළිබද හඩ නැගීමට ජනමාධ්‍ය හමුවක් ‘බිංගිරිය පරිසරය සුරැකීමේ සංවිධානය‘ විසින් සංවිධානය කර තිබිණි. ප්‍රදේශයේ ජනතාවගේ නියෝජිතයන් මෙහිදී ජනමාධ්‍ය හමුවේ අදහස් පළ කළහ.
මෙම පාරිසරික හානිය වැලැක්වීමට දිවි පරදුවට තබා හෝ සටන් කරන බවත් මෙය නවත්වන්නට කටයුතු නොකොට සිදුවන දේ ඉවසා සිටීම යනු අනාගත පරම්පරාවලට මරණය හිමිකරදීම බවත් ඔවුහු කියති.
බිංගිරිය පරිසරය සුරැකීමේ සංවිධානයේ භාණ්ඩාගාරික ඩබ්. යසපාල අදහස් දක්වමින් මේ පිළිබද පැහැදිලි කිරීමක් සිදු කළේය.
“බිංගිරිය ප්‍රදේශයේ නිකෝ බැටරි නමින් ඊයම් උනුකරණ කම්හලක් පවත්වාගෙන යනවා. දැන් අවුරුදු විස්සක් විතර මේක තියෙනවා. ආරම්භයෙදි මේකෙ බැටරි නිෂ්පාදනය කරනවා කිව්වට මේකෙ කරන්නෙ පරණ බැටරිවල ඊයම් උණුකරන එකයි.
ආරම්භයෙදිම මේ ෆැක්ටේරියට විරුද්ධ වුණ 31 දෙනකුට චෝදනා ඉදිරිපත් කරලා 27 දෙනෙක් රිමාන්ඩ් කළා. ඉන් පස්සෙ ගමේ කවුරුවත් මේක පැත්ත පළාතෙ ආවෙ නෑ. ෆැක්ටේරිය වටේ කම්බි ගහලා මුරකාරයො දැම්මා. ඇතුළුවීම තහනම් කියලා බෝඩ් දැම්මා. ඇතුලෙ මොනවද වෙන්නෙ කියලා කවුරුත් දන්නෙ නෑ. නමුත් පස්සෙ දැනගන්න ලැබුණා වාහනවලට දාලා ඉවත්කරන පරණ බැටරි ගෙනල්ලා ඒවා කඩලා ඊයම් ගන්නවා කියලා. ඊයම් තුට්ටි උණු කරන්න පටන් ගත්තා. මේ වෙනකොට දවසකට ඊයම් ටොන් 25-30ක් පමණ නිෂ්පාදනය කරනවා. මේ ෆැක්ටේරියෙන් අඩි 130ක් විතර උස නලයකින් දුම පිට කරනවා. ඊයම් උණුකරලා දවල් කාලෙ දුම පිට කරන්නෙ නෑ. දුම තාවකාලිකව රදවලා හොර රහසින් රාත්‍රි කාලයට නලයෙන් පිට කරනවා. උදේ අවදි වෙනකොට අවට ගෙවල්වල අයට ඇස් දැවිල්ල, ක්ලාන්ත ගතිය, වමනය ඔක්කාරය තියෙනවා. දොස්තරලා කියන්නෙ ලෙඉක් නෑ තියලා. නමුත් වෛද්‍ය අධිකාරිවරයා කියනවා මේ කම්හලේ ප්‍රශ්නය ගැන. මෙහෙම කම්හලක් කොහොම පවත්වගෙන යනවද දන්නෙ නෑ. මේක හානිකරයි කියලා.
අපිට තවත් මේක ඉවසන්න බෑ. අපිට කොහොම වෙතත් අපේ දරුවන්ටවත් මේ ගමේ ජිවත් වෙන්න තියෙන්න ඕන. මේ ප්‍රශ්නෙ ගැන කතා කළාම අයිතිකාරයා මාව ගෙන්නලා ලොකු මුදලක් දෙනවා කියලා කාටවත් කියන්න යන්න එපා කිව්වා. නමුත් අපට සල්ලි අරගෙන කට පියාගෙන ඉන්න බෑ. අපේ දරුවො වෙනුවෙන්වත් කතා කරන්න ඕන. නැත්නම් මේවා හෙණ ගහන අපරාධ.!“
මේ අවස්ථාවේ නිකෝ බැටරි ආයතනයේ සේවය කළ ප්‍රදේශවාසියකුද අදහස් දැක්වීය. ඔහු පවසන ආකාරයට දැඩි දුර්ගන්ධයක් සහිත අපද්‍රව්‍ය ඉවත ගෙන ගොස් විවිධ ස්ථානවල බැහැර කර පැමිණ් අවස්ථා ඇත. පසුව ප්‍රදේශවාසීන් කළ උද්ඝෝෂණයක් නිසා ඉන්පසුව එම අපද්‍රව්‍ය කම්හල තුළ වලලා දැමීම ආරම්භ කරන ලදී. පරිසර නිලධාරින් වාර්ෂික අධීක්ෂණයට පැමිනි විට ඔවුන්ට හොදින් කෑම බීම ලබා දී සැප කාමරවල නවාතැන් දෙන බව එහිදී අනාවරණය විය. කම්හල් පාලනය විසින් ඔවුන්ට විශේෂ සංග්‍රහ කර නැවත පිටත්කර යවවනු ලබන්නේද සුවිශේෂී රථවාහනවල බව කියති. එවැනි නිලධාරින් ආයතනයේ පාරිසරික විෂ පිළිබද කිසිවක් වාර්තා නොකරන බව ප්‍රදේශවාසින් පෙන්වා දෙයි. ඔවුන් පවසන්නේ නිකෝ බැටරි කම්හල වැනි ලාභ අපෙක්ෂාවෙන් පරිසරයට විෂ මුදහරින කම්හල් හිමියන් නිසා දරුවන්ගේ පරම්පරාවලට කෙළවරක් නැති විනාශයක ගොදුරු බවට පත්වීමට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවත්ය.