වැලිකඩ සංහාරය- එක්සත් ජාතීන්ට සංදේශයක්!

welikada-2

රාජපක්ෂ රෙජීමය යටතේ 2012 වසරේ සිදුවූ වැලිකඩ බන්ධනාගාරයේදී විසි හත් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියේ විස්තර ඇතුලත් කරමින් සකස් කරන ලද වාර්තාවක් ඊයේ (23) වැනිදා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය වෙත භාර දී තිබේ.

බන්ධනාගාර රැදවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව නම් සංවිධානය විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු වෙත යොමු කිරීමට පිටු  13 කින් සමන්විතව මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත. පසුගිය රජය සමයේ 2012 නොවැම්බර් 9  දා වැලිකඩ බන්ධනාගාරයේ සිදුවු සමූහ ඝාතනය සම්බන්ධ සම්පුර්ණ කරුණු වාර්තාවට ඇතුලත් වන බව එම සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

වැලිකඩ සංහාරය ඇසින් දුටු සාක්ෂිකරුවන් සහ ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත් යහපාලන රජය නිශ්ශබ්දව සිටින බවට චෝදනා කළ නීතිඥ සේනක පෙරේරා අවධාරණය කර සිටියේ මානව හිමිකම් කොමිසමට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ඉදිරිපත් කර වසර දෙකකට ආසන්න වුවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.වැලිකඩ 2012 ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන වාර්තාව විශ්‍රාම ලත් විනිසුරු නිමල් නම්බුවසම් අගමැති රනිල් වික්‍රමසිංහ හමුවේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ වෙත භාර දෙන ලද්දේ 2015 ජුනි මසදීය.

වැලිකඩ සංහාරයේ ඇසින් දුටු  ප්‍රධාන සාක්ෂි කරුවකු වන සුදේශ් නන්දිමාල් මෙහිදී පැවස්වේ මේ වන විට තමාට  මරණිය තර්ජන පවා එල්ලවී තිබෙන බවයි. මීට ඉහතදී පිරිසක් පැමිණි සිදු කළ මරණ තර්ජන සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කළත් මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විමර්ශනයක් කර නොමැති බවටද ඔහු චෝදනා කළේය. හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය දිනෙක තමාට වක්‍ර ආකාරයෙන් තර්ජනය කළ බවද සුදේශ් නන්දිමාල් අනාවරණය කළේය.

Leave a Reply