හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුලු අනුගාමිකයන් විසින් සංවිධානය කරන පාගමන අද (01දා) දහවල් කොළඹ නගරයට ඇතුලු විය. පාගමන ආරම්භ වූයේ පසුගිය 28වැනිදා මහනුවර ගැටඹේ ප්‍රදේශයෙනි.
සිව්වැනි දිනය වූ ඊයේ දිනයේදී පාද යාත්‍රාව නිට්ටඹුවේ සිට කිරිබත්ගොඩ දක්වා ගමන් කරනු ලැබීය. අද දිනයේදී කිරිබත්ගෙඩ සිට කොළඹට ගමන් කිරීමෙන් පසුව අවසන් රැළිය ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම පාද යාත්‍රාවට දිගින් දිගටම බාධා කළ ආණ්ඩුව එම පාද යාත්‍රාවට සහභාගිවන මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට සිටින ප්‍රභූ ආරක්ෂකයන් අද දින හදිසියේ කොළඹට කැඳවා ඇත.
මේ අතර පාගමන අවසානයේ රැළියක් සදහා වෙන්කර තිබුනු කොළඹ, හයිඩ් පිටිය අලුත්වැඩියා කිරීමේ කටයුත්තක් නිසා එම කාර්යයට ලබා දිය නොහැකි බවට හදිසියේ දැනුම් දී එම වෙන්කිරීම අවලංගු කරන්නට කොළඹ නගරසභා බලධාරින් කටයුතු කර තිබේ. කොළඹ නගර සභාවට අයත් බැකෝ පහක් සහ සේවකයන් 50ක් පමණ හයිඩි පිටියේ වලවල් හාරමින් මේ කියන ‘හදිසි සංවර්ධන කටයුතු‘ භාරව ක්‍රියා කරයි.
මෙකී පාගමන සඳහා ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශය යටතේ ඇති කටුනායක ගුවන් තොටුපොලට අයත් රජයේ වාහන දෙකක් රැගෙන ගොස් යොදවා තිබියදී අද (30) වරකාපොළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. පාගමන්කරුවන්ද දොඹකරය යොදා ගනිමින් වරකාපොල නගරයේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම්වරයකු වන ධර්මසිරි සේනානායක පිළිරුවට උපහාර පිදීමටද යොදා ගෙන තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගුවන් තොටුපළ වෘත්තීය සමිතියේ සභාපති වර්ණසිරි මුහන්දිරම් විසින් මෙම රථ දෙක රැගෙනගොස් ඇති අතර මේ වනවිට ඔහුද පොලිස් අත්අඩංගුවේ පසුවේ.



