මෛත්‍රී දෙස ලෝකයම බලා සිටින බව බෑන් කී මූන් කියයි

ban kimoon2

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අනුගමනය කරනු ලබන වැඩපිළිවෙළ කෙරෙහි සමස්ත ලෝකයාම බලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් පැවසීය.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර පැවැති හමුවකදීය. ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුව සාමය සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී එක්සත් ජාතීන්ගේ අරමුදලින් ආධාර කිරීමට සූදානම් බවද මහලේකම්වරයා අවධාරණය කර සිටියේය.

ශ්‍රී ලංකාව තුළ මේ වනවිට පවතින සාමකාමී තත්ත්වය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්ව ඇති යෝජනා ක්‍රියාවට නැංවීමෙන් තවදුරටත් තහවුරු කර ගත හැකි බවද ඒ අනුව ශ්‍රී ලංකා රජයට සංහිඳියාව ගොඩනැංවීමට දේශපාලන වැඩපිළිවෙළක් අවශ්‍ය බවද එම වැඩපිළිවෙළට එක්සත් ජාතීන්ගේ සහයෝගය නිරතුරුවම හිමිවන බවද  බෑන්කී මූන් ජනාධිපතිවරයාට පවසා ඇතැයි වාර්තාවේ.

එම අවස්ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කර ඇත්තේ, තමන් රට තුළ සාමය වෙනුවෙන් උපරිම කැපවීමකින් කටයුතු කරන අතර, තමන් සාමයට ගරු කරන බවයි.

මේ අතර, ජගත් සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ ඉලක්කය වන තිරසාර සංවර්ධන වැඩසටහනේ අරමුණු ඉටුකර ගැනීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට සිය බලතල උපයෝගී කරගත හැකි බවයි.

එමෙන්ම, පසුගිය දා ලද මැතිවරණ ජයග්‍රහණ සම්බන්ධයෙන්ද මහලේකම් බෑන්කී මූන් ජනාධිපතිවරයාට සුබපතා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

Leave a Reply