ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් මියෙන  මියන්මාරය

aun san suki 2

මියන්මාරය දේශපාලනික වෙනස්වීම් ගණනාවකට මුහුණ දෙමින් තිබෙනවා. මෙම පුළුල්වීම ලෝක දේශපාලනය තුළදීත් ඉතා ඉහළින් සාකච්ඡුාවට ලක්කෙරෙනවා. මියන්මාර ජනමාධ්‍යයට අනුව එරට ජනතාව පුළුල් ලෙස ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය’ සහ ‘නිදහස’ දිනාගැනීමට සමත් වෙලා. ජනමාධ්‍ය පවසන්නේ පසුගිය නොවැම්බර් අටවැනිදා පැවැති මහමැතිවරණයෙන් පසුව ඒ තත්වය උදාකර ගැනීමට එරට ජනතාවට හැකි වූ බවයි. අඩසියවසකටත් අධික කාලයක් පුරා පවත්වාගෙන ගිය හමුදා ජුන්ටා පාලනය වෙනස් කර තිබේ. ඒ ‘සුකී’ගේ නායකත්වය ලැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ජාතික සංගමය (NLD) අති බහුතර ජයක් ලබාගැනීමත් සමඟය. NLD ජයග‍්‍රහණය කරනු ලැබූ බව මැතිවරණ ප‍්‍රතිඵලයෙන් ප‍්‍රකාශ වුණා. ඒත් සැබෑ ලෙසම එරට ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලනික සහ ආර්ථික නිදහස, සංස්කෘතිකමය හා සමාජමය නිදහස ලැබේවිද? නැතහොත් මියන්මාරය අධිරාජ්‍යවාදීන්ට ගොදුරක් කරගන්නට ඉඩ ලද අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සටහන්වේද? යන ගැටලූව මතුවෙමින් තිබෙනවා.

2010 පමණ සිට මියන්මාරය තුළ විවිධාකාරයෙන් ප‍්‍රතිසංස්කරණ සිදු කෙරුණා. ඒ හමුදා පාලනයට එරෙහිව ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් පැමිණි විරෝධතා මතයි. එම විරෝධතා මූලික වශයෙන්ම පදනම් වූයේ එරට ජනතාවට අහිමි කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පිලිබඳවයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් පිළිබඳ ප‍්‍රශ්නය මියන්මාරය තුළ මතුවන්නේ සියවස් භාගයකටත් වඩා ඈත කාලයක සිටය. ජනරාල් නේවින් 1962දී හමුදා කුමන්ත‍්‍රණයක් සිදු කරමින් එරට රාජ්‍ය බලය ඩැහැගත්තා. එතෙක් බුරුමය ලෙස නම් කළ රාජ්‍යය මියන්මාරය ලෙසට වෙනස් කරනු ලබන්නේද ඔහු විසිනි. යුද නීතිය ක‍්‍රියාත්මක කිරීම, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගොඩනැඟීම, පාර්ලිමේන්තු ක‍්‍රමවේදයේ දේශපාලන ව්‍යුහයක් සැකසීම, ජනාධිපති ධුරය නිර්මාණය කිරීම. ජනතාවට ඡුන්දබලය ලබාදීම, පාර්ලිමේන්තු මැතිවරණ පැවැත්වීම ආදිය ක‍්‍රමිකව සිදු කරනු ලැබුවා. සෑම පියවරක්ම පැවැතියේ යුද නීතිය සමඟයි. එරට ව්‍යවස්ථාදායක නියෝජිතයන්ගෙන් 25ක් සන්නද්ධ සේනාංකවල ඉහළ නිළධාරීන්ගෙන් සමන්විත වෙනවා. ඒ වගේම ආරක්ෂක ඇමැති අභ්‍යන්තර කටයුතු ඇමැති, රාජ්‍ය සීමා කටයුතු ඇමැති යන බලවත් ධුර ව්‍යවස්ථානුකූලවම හමුදා නියෝජිතයන්ට පමණක් හිමියි. ව්‍යවස්ථාදායක සභාව නාමිකය. පනත් කොටුම්පත් ව්‍යවස්ථාදායක සභාවට යොමු කරනු ලබන්නේ එහි අනුමැතිය ලබාගැනීමටය. නැතහොත් සීල් එක ගසා ගැනීමටය. මේ මියන්මාරය තුළ යුද නීතිය ක‍්‍රියාවට නැඟූ ආකාරයට අදාළ උදාහරණ කිහිපයක් පමණි. කෙසේ වුවද මෙකී ක‍්‍රමවේදයට අධිරාජ්‍යවාදීන්ගේ සහයෝගය නොඅඩුව ලැබුණි. නමුත් ජනතා ක‍්‍රියාකාරීත්වය මත එකී ක‍්‍රමවේදය නව මුහුණුවරකින් පවත්වාගෙන යෑමට අදාළ වෙනස් කිරීම් නැතහොත් ප‍්‍රතිසංස්කරණ හමුදා පාලනය විසින් ක‍්‍රමිකව සිදු කළා. 1989 වසරේදී නිවාස අඩස්සියේ තැබූ අවුන්සාන් සුකී 2010 වසරේ නොවැම්බර් මස දහතුන් වැනි දින නිදහස් කරනු ලැබුවේ එහි ප‍්‍රතිඵලයක් ලෙස. වසර 1990 මැයි 27 වැනි දින පවත්වනු ලැබූ මහ මැතිවරණයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා ජාතික සංගමය ජයග‍්‍රහණය කළා. ඒත් හමුදා පාලනය විසින් ඒ ජයග‍්‍රහණය ප‍්‍රතික්ෂේප කළා. වසර 2012 අපේ‍්‍රල් මස පළමු වැනි දින පවත්වන ලද පාර්ලිමේන්තු අතුරු මැතිවරණයේදීත් NLD තරග කරද්දී හමුදා පාලනය ඊට බාධා කළේ නැත. 2012 මැතිවරණයේදී තවත් දේශපාලන පක්ෂ දොළහකට පමණ දේශපාලනය කිරීමට අවස්ථාව ලබා දෙනු ලැබුවා. ඒ අතුරු මැතිවරණයේදී සුකී සිය ආසනය ජයග‍්‍රහණය කළා. විවිධ ජාත්‍යන්තර සම්මුතීන් හා ප‍්‍රඥප්තිවලට එකඟව මියන්මාර් මිලිටරි පාලකයන් කටයුතු කළා. ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සම්මුතීන්ට අනුව කටයුතු කිරීම. කම්කරුවන්ට සංවිධානය වීමට ඇති අයිතිය පිළිගැනීම, වෘත්තිය සමිති කටයුතු නිලවශයෙන් පිළිගැනීම මේ අතර තිබුණා.

විශේෂයෙන්ම ඉහත ආකාරයේ සමාජ ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට දායක වූ පිරිස් අතර විවිධ අරමුණු තුළ ක‍්‍රියාත්මක වන ජාත්‍යන්තර සංවිධානද තිබුණා. වසර 2011දී NLD නායිකා අවුන්සාන් සුකී යුරෝපා රටවල සංචාරයක් කළා. මහා බි‍්‍රතාන්‍යය, අයර්ලන්තය, ස්වීඩනය, ජර්මනිය සහ අමෙරිකා එක්සත් ජනපදය වැනි විවිධ රටවල ව්‍යාපාරික ප‍්‍රජාව, රාජ්‍ය තාන්ත‍්‍රික නියෝජිතයන් හා රාජ්‍ය නායකයෝද හමු වුණා. එක්සත් රාජධානියේ අධ්‍යාපනය ලබා තිබීමත් හා එරට පුරවැසියකු හා විවාහ  වී සිටීමත් ඇයට වාසිදායක වී තිබෙනවා. එසේම ලිබරල්වාදිනියක් වීමත් මියන්මාරය තුළ අභ්‍යන්තර සාමය ගොඩනැඟීම වෙනුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් හා ප‍්‍රජාතාන්ත‍්‍රීය අයිතීන් හා නිදහස වෙනුවෙන් ඇය කළ අරගලයක් තිබෙනවා. ඇගේ සංචාරයෙහිදී උක්ත අයිතිවාසිකම් දිනා ගැනීමට බටහිර රාජ්‍යන්වල සහය අපේක්ෂා කරන බව සඳහන් කළා. එහි අවසන් ප‍්‍රතිඵලය වන්නේ පසුගිය මහ මැතිවරණයෙන් ජය ගැනීමත් සමඟ මියන්මාරයේ යුගයක් අවසන් වීමය. ජයග‍්‍රහණයත් සමඟ එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා ඇතුළු විවිධ රාජ්‍ය නායකයන් විසින් එහි නායක අවුන්සාන් සුකී වෙත සුභපැතුම් එක් කළා. මේ සුභපැතුම් මියන්මාරයේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ නිදහස ලබාදීම වෙනුවෙන්යැයි කිවහැකි නොවේ.

අප එසේ කියන්නේ මියන්මාරය කේන්ද්‍ර කරගනිමින් ඉන්දු-චීන භූ දේශපාලනික උපායමාර්ගික වැඩපිළිවෙළක් මේ වන විටත් ක‍්‍රියාත්මක වීම නිසාය. මියන්මාරය ගොඩනැඟීමේදී බලශක්ති, ප‍්‍රවාහන, ජාත්‍යන්තර වෙළෙඳාම, හෝටල් සහ සංචාරක ප‍්‍රවර්ධනයත් ටෙලිකොමියුනිකේෂන් හා විදුලි සංදේශ සේවා, අධ්‍යාපන, සෞඛ්‍ය ඇතුළු යටිතල පහසුකම් විශාල ප‍්‍රමාණයක් ආයෝජන විදේශයන්ගෙන් ගලා ඒමට නියමිතයි. මේ වන විට නොර්වේ රටේ සමාගමක් වන ඔෑඛෑභධඍ විසින් මියන්මාරයෙහි දුරකතන හා විදුලි සංදේශ සේවා යටිතල පහසුකම් දියුණු කිරීමට කටයුතු කරනවා.

ජපානය සහ තායිලන්තය එක්ව සිදු කරනු ලබන ආයෝජනයන් ලෙසට ‘දාවෙයි වරාය ව්‍යාපෘතිය’ සහ ‘දාවෙයි විශේෂ ආර්ථික කළාප ව්‍යාපෘතිය’ ඇරඹුණා. ඉන්දියාව විසින් මියන්මාරය තුළ අතිවිශාල මහාමාර්ග පද්ධතිය ලෙසට හඳුන්වනු ලබන ව්‍යාපෘතියත් ‘සිත්තවේ‘  වරාය ව්‍යාපෘතියද දැනටමත් ආරම්භ කර පවත්වාගෙන යයි. චීනය විසින් විශාල වශයෙන් බලශක්ති ක්ෂේත‍්‍රයේ ආයෝජනයන් සිදු කර ඇත. ‘චීන ජාතික වාණිජ සමාගම’ ලෙස හඳුන්වනු ලබන සමාගම විසින් එකී ආයෝජනයන් කර තිබේ. ඊට අමතරව කිලෝමීටර් 2400 තරම් දුරට මියන්මාරය හරහා භූගත කරණු ලබන නළ මාර්ගයක් සවි කිරීම චීනය විසින් සිදු කෙරේ.

චීනයේ ගිණිකොණදිග යුනාන් ප‍්‍රදේශයේ සිට මියන්මාරයේ ‘ෂාන්’ සහ ‘රේකින්’ ප‍්‍රාන්ත රාජ්‍ය හරහා ‘මදේ’ දිවයින ලෙසට හඳුන්වනු ලබන සාගර කළාපයට එකී නළමාර්ගය දිවෙනු ඇත. සාගරයේ සිට චීනයට බොරතෙල් නළ මඟින් ගෙන යෑම එහි අරමුණයි. ඉහතින් සටහන් කර තිබෙන්නේ විශේෂයෙන්ම වසර 2010න් පසු මියන්මාරයෙහි ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නිදහස ලබාදීමට යැයි ප‍්‍රකාශවන රටවල් විසින් එහි සිදු කර ඇති ආයෝජන කිහිපයක් පමණි. ඊට අමතරව ජර්මනිය අමෙරිකා එක්සත් ජනපදය හා එක්සත් රාජධානියේ බහුජාතික සමාගම් විශාල ප‍්‍රමාණයක් එහි ආයෝජනය කිරීමට සූදානම්ය.

කෙසේ වෙතත් මියන්මාර නායිකා සුකී ප‍්‍රකාශ කරන්නේ ‘ආයෝජනයන්ගේ විනිවිදභාවයක්’ ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සමාජ සංක‍්‍රමණීය අවධියක්’ සහ ‘නිර්මාණාත්මක ලෙස වැඩ කළ හැකි සබඳතා පද්ධතියක් කළාපය තුළ පවත්වාගෙන යන බවත්ය.’ මේ වන විට මියන්මාර ජනාධිපතිවරයා විසින් ප‍්‍රාන්ත රාජ්‍යයන් කිහිපයක ක‍්‍රියාත්මක වූ ‘යුද නීතිය’ ක‍්‍රියාකාරීත්වය ඉවත් කර ඇත.

ඉහත ආකාරයේ අධිරාජ්‍යවාදී රාජ්‍යයන්හි මැදිහත් වීම තුළ මියන්මාරයේ ජනතාවට ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නිදහස නොලැබෙනු ඇතැයි  දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසයි. එහෙත් මිලිටරි පාලනය යටතේ වසර පනහකටත් වඩා කාලයක් පෙළීමට ලක් වූ ජනාතාවක් තවදුරටත් සිදු විය හැකි ඛේදවාචකයක් ගැන සිතීමට සුදානම්ද යන ගැටලූවක් තිබෙනවා. අවසන් හුස්ම ගනිමින් සිටින සමාජයකට සුකී විසින් පොරොන්දු වූ ප‍්‍රතිසංස්කරණ නිසි ලෙස ගෙන එන්නට නොහැකි වුවහොත් ඔවුන් පරඬැල් බවට පත්වීම වැළැක්විය නොහැකි බවය.

රංජිත් පියතිලක

ජනරළ පුවත්පත