පිරිසිදු පානිය ජල පහසුකම් ඉල්ලා පසුගිය 25දා අම්බලන්තොට නගරයේ විරෝධතාවයේ නියැළුණු වරදට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබු භික්ෂුව ඇතුළු 32ක් අද(01) දින ඇප මත නිදහස් කෙරිණි.
තිස්සමහරාම – මාතර ප්‍රධාන මාර්ගය අම්බලන්තොටදී අවහිර කළබවට චෝදනා කොට අත්අඩංගුවට ගැනුණු මෙම පිරිස ඉකුත් 28 දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ විනිසුරු මංජුල කරුණාරත්න විසින් අද දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. මෙසේ ඇප මත නිදහස් වූයේ අම්බලන්තොට, රුහුණු රිදියගම ප්‍රදේශයේ කරබගලමුල්ල, ගොඩකොග්ගල්ල යන ග්රාමනිලධාරි වසම් දෙකක ජනතාව පානිය ජලය ඉල්ලා විරෝධතාවයේ නියැළි පිරිසකි. ඔවුහු ප්‍රදේශවාසින් සමග එක්ව ජූලි 25 වනදා පෙරවරු 11 සිට සවස තුන පමණ වෙනතෙක් පැය හතරක පමණ කාලයක් තිස්ස – මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට නගරයෙන් මාර්ගය හරස් කරමින් විරෝධතාවයේ නියැළුණහ. විරෝධතාවය නිසා ඇතිවූ වාහන තදබදය අවමකිරීමට ගිය අම්බලන්තොට පොලිසියේ නිලධාරින් හා විරෝධතාකරුවන් අතර සුළු ගැටුම්කාරී තත්ත්වයක්ද එදින ඇතිවිය. පසුව අයුතු ජනරාශිය, මහජන පීඩාව, අනර්ථය යන චෝදනා ගොනුකර හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේ අම්බලන්තොට පොලීසිය විසිනි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කළ පසු එක් අයෙකුට රු.ලක්ෂ දෙක බැගින් වන ශරීර ඇප මත නිදහස් කරන්නට නියෝග කල මහේස්ත්‍රාත්වරයා දෙසැම්බර් 01 වන දින අදාළ නඩුව යළි කැඳවීමට තීරණය කළේය.
විරෝධතාකරුවන් අත්අඩංගුවට ගත්තද මේ වනවිට පවුල් 540ක පුද්ගලයින් 2500ට වැඩි සංඛ්‍යාවක් පානිය ජලය නොමැතිව විදින පීඩාවට තවමත් විසඳී නොමැත.