නොනිමි දඬුවමක උරුමකරුවන් වන උතුරේ දේශපාලන සිරකරුවෝ

remanded

උතුරේ යුද්ධය නන්දිකඩාල් කලපුවේ අවසන්  යුද මෙහෙයුම නිමාකර සය වසරකි. උතුරේ ජනතාව අනතුරුව බලාපොරොත්තු වූයේ තමන්ගේ සැමියා, බිරිඳ දරුවන් සමඟ අඩුම තරමේ එකට එකතුව ජීවිතයේ දුක බෙදාගැනුමය. සමහර පවුලක ජීවනෝපාය සරිකරන්නට සිටි සැමියාද තවත් සමහර පවුලක පිරිමියකු ලෙස සිටි එකම දරුවාද දරුවන්ගේ රැුකවරණයට සිටි මවද අධ්‍යාපනය ලබමින් සිටි දරුවාද සය වසරක් අවසානයේ තවමත් සිරගෙහි දුක්විඳිමින් සිටිති. ඔවුන්ගේ සමාජ ජීවිතය, අධ්‍යාපනය, ලෙන්ගතු බැඳීම්, ආදරය, පේ‍්‍රමය, විවාහ ජීවිතය යුතුකම් වගකීම් ඉටුකිරීමේ අවස්ථා ආදී සුවහසක් දෑ ඔවුනට අහිමිය. මිනිස් දිවියේ දින සති මාස ගණන් නොව වසර ගණනාවක්ම ඔවුන්ට අහිමිව ගොස් ඇත. ඒ නිසාම ඔවුහු තමන්ගේ නිදහස හා ජීවිතය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිගෙන් නිදහස ඉල්ලා සිටියහ. රාජපක්ෂ අයියාගේද ගෝඨාභය මල්ලීගේද සින්නක්කර අයිතියට ගෙන තිබූ යුද ජයග‍්‍රහණ මානසිකත්වය, මානුෂිකත්වය වෙනුවෙන් පෙරට ගෙන ඒමට නොහැකි විය. ජයග‍්‍රාහකයන් විසින් පරාජිතයන් තම වහළුන් කර ගැනීමේ මානසිකත්වයකට ඔවුන් මෙන්ම සිංහල ජන සමාජයද තල්ලූ වී ගොස් තිබිණි. උතුරේ අරගලය කුඩුපට්ටම් කිරීම මහා රැුස් වළල්ලක් සේ, හිස දරාගෙන රහසිගත හා රහසිගත නොවන සිරගෙවල් තුළ පරාජිතයන් වධබන්ධනයට ලක්කිරීමේ ක‍්‍රියාමාර්ග අනුමත කෙරිණි.

එම තත්වය පරාජය කරන බවට දුන් පොරොන්දු මැද වසර 5කට පසුව එළැඹුනු යහපාලන ආණ්ඩුව ගැන උතුරේ දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අපමණ සිහින දුටහ. ජීවත්වීමට මුදලක් හෝ ඉඩකඩම් හෝ හිසට සෙවනක් හෝ නොඉල්ලන ඔවුන් ඉල්ලන්නේ එකම එක දෙයකි, ඒ සිරගතව සිටින, කවදා නිදහස්වේ දැයි නොදන්නා තමන්ගේ ආදරණීයයන්ගේ නිදහසය. ඔවුන් සමඟ එක්ව සිටින ජීවිතයකි. ඒ සඳහා ඔවුන් ආණ්ඩුව බලයට පත්වී ගතවූ මාස 10 තුළ වරින් වර විවිධ ඉල්ලීම්, පෙළපාළි, උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවල නිරත වූහ. අද වන විටත් ඔවුන්ගේ ප‍්‍රශ්නයට වාචික ප‍්‍රකාශවලින් ඔබ්බට නිශ්චිත විසඳුමක් ලැබී නැත.

දකුණේ විප්ලවවාදීන් සිත්සේ මර්දනය කිරීමට 1979දී ගෙන ආ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් 88-89 වකවානුවේ 60 දහසකට අධික තරුණ තරුණියන් අත්අඩංගුවට ගැනීම, ඝාතනය, මරාදැමීම, සිරගත කිරීම සිදු කළේය. පසුගිය 30 වසරක යුද්ධයේ අවසන් මෙහෙයුමට පූර්ව සමයේ සිට යුදමය වාතාවරණයක් නොතිබූ පසුගිය 2014 වසර දක්වාම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද්දේද එම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේය. ප‍්‍රශ්නය වන්නේ රජයේ ආරක්ෂක අංශවලට, චෝදනාවක්, පැමිණිල්ලක් ඇතිව හෝ නැතිව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට හැකි වීම, ඔවුන් නිශ්චිත නොවන කාලයක් රඳවාගත හැකි වීම සහ අත්අඩංගුවේ සිටියදී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳ කිසිදු තහවුරුවක් නොවීමය.

නන්දිකඩාල් සටන අවසානයේ එවකට යුද හමුදාපතිවරයා වූ ජෙනරාල් සරත් ෆොන්සේකා ප‍්‍රකාශ කළේ දස දහසකට අධික පිරිසක් තමන්ගේ අත්අඩංගුවේ සිටින බවය. රජයේ වර්තමාන සංඛ්‍යා ලේඛනවලට අනුව දැනට සිරගතව සිටිනුයේ තමිල් සිරකරුවන් 273කි. ඉන් 10 දෙනෙක් කාන්තාවන්ය. උසාවි ක‍්‍රියාමාර්ගවලින් පසුව සිරගතව සිටිනුයේ ඉන් 54කි. 159ක් තවමත් නඩු ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් සිටින අය වේ. 60 දෙනෙක් චෝදනාවක් නොමැතිව සිරගතව සිටී. ආණ්ඩුවේ සංඛ්‍යා දත්ත මෙසේ වුවද බන්ධනාගාර ලේඛන ඇසුරේදී මෙම ගණන 300 ඉක්මවන බව පෙනේ.

ඒ අතරම 2015 මාර්තු 16 වැනිදා මාධ්‍ය හමුවක් පැවැත් වූ දෙමළ සන්ධාන මන්ත‍්‍රී, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් කියා සිටියේ ත‍්‍රිකුණාමලයේ, ‘ගෝඨාභය කඳවුර’ නම් රහසිගත කඳවුරක් පවත්වාගෙන යන බවයි. විශාල රැුඳවියන් පිරිසක් එම ස්ථානයේ රඳවාගෙන සිටින බවත් ඒ පිළිබඳ තොරතුරු තමා සතු බවත් මන්ත‍්‍රීවරයා හෙළි කළේය. උතුරේ මව්වරුන් කිහිපදෙනකුම ප‍්‍රකාශ කරන්නේ යුද්ධයෙන් අනතුරුව ගෙවුණු කාලයේ තමන්ගේ දරුවන්ගේ ඡුායාරූප විවිධ අවස්ථාවල පළ වූ බවත් එහෙත් ආණ්ඩුවේ සිරගත වූවන්ගේ ලැයිස්තුවේ ඔවුන්ගේ නම් නැති බවත්ය. එසේ නම් ඔවුන් අත්අඩංගුවේදී මියගියාද නැතහොත් ලේඛන ගත නොවන රැුඳවියන් සිටින රහසිගත ස්ථාන තවත් තිබේද යන්න අතුරුදන් වූවන්ගේ ඥාතීන් හමුවේ ඇති බරපතළ ප‍්‍රශ්නයකි. මෙකී තත්වයන් සදාකල් ඉවසා සිටින්නට උතුරේ ජනතාව සූදානම් නැත. එසේම සිරගෙවල සිටින සිරකරුවන්ද සූදානම් නැත – ඔවුන්ගේ මාරාන්තික උපවාසවලින්ද ඥාතීන්ගේ උද්ඝෝෂණ ක‍්‍රියාමාර්ගවලින්ද කියා පාන්නේ එය මිස වෙන කවරක්ද?

මෙම දේශපාලන සිරකරුවන් අතර වසර 10, 15, 20 වැනි දීර්ඝ කාලයක් සිරගතව සිටින පුද්ගලයන්ද වේ. සමහරකුට චෝදනාවක්වත් නොමැතිව සිරගත කර ඇත. තවත් සමහරකුගේ නඩු ක‍්‍රියාමාර්ග ඔහේ දිනෙන් දින කල් යමින් ඉබිගමනේ ඇදෙමින් තිබේ. අධිකරණ ක‍්‍රියාමාර්ගවලින් අනතුරුව අධිකරණ තීන්දු මත දඬුවම් ලබන්නේ සුළු පිරිසකි. දිගුකාලයක් මෙසේ සිරගතව සිටින පිරිස අතරින් දැනට හෙළිවී ඇත්තේද නම් කිහිපයක් පමණි.

සිරකරුවන්ගේ සහ ඥාතීන්ගේ ක‍්‍රියාමාර්ග හේතුවෙන් තමිල් දේශපාලකයන්ට ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමට සිදුව ඇත. එහෙත් තමිල් ජනතාව නියෝජනය කරනවා යැයි කියන දේශපාලකයන් ආණ්ඩුව සමඟ (මෛත‍්‍රී රනිල් සමඟ* සාකච්ඡුා කොට ඔවුන් හමුවේ තබන විසඳුම කුමක්ද? පසුගිය දින වල මෙවැනි ජනතා නියෝජිතයන් ජනමාධ්‍ය වෙත ප‍්‍රකාශ නිකුත් කළේ සිරකරුවන්ට ඇති චෝදනා වර්ග කොට බරපතළ චෝදනා නැති අය සහ දැනට චෝදනා ගොනුකොට නැති අය ඇපමත නිදහස් කළ යුතු බව ඔවුන් කියා තිබිණි. තමන් ඒ පිළිබඳව ආණ්ඩුව සමඟ කළ සාකච්ඡුාවන්හීදී ආණ්ඩුව ඊට එකඟ වූ බව ප‍්‍රකාශ කරද්දී ඔවුන් සිරකරුවන් වසර ගණනක් විඳි දුක්ගැහැට සැලකිල්ලට ගෙන නැත. වසර 30ක යුද්ධයේ සියලූ බර රජයේ මර්දනයට හසු වූ තමිල් සිරකරුවන් 300කගේ කර මත වැටී ඇත. සියලූ චෝදනා හා දණ්ඩන ඔවුන් පිටින් යැවීම සාධාරණද? ළමා සොල්දාදු බලකාය ගොඩනැඟූ, ඒවා මෙහෙය වූ, සමූහ ඝාතනවලට අණදුන්, එවැනි චෝදනා ඇතිවුන් රාජපක්ෂ පාලනයට හීලෑ වූ පසුව මැති ඇමැතිකම්, යාන වාහන ඇතුළු වරදාන වරප‍්‍රසාද ලබා දෙන ලදී. එහෙත් නායකයන්ගේ නියෝග අනුව සටන් කළ වුන් මෙන්ම කිසිසේත්ම ඒවාට සම්බන්ධ නොවූ පිරිසක් තමන්ගේ මුළු මහත් ජිවිතය ඒ වෙනුවෙන් සිරගතව සිටීම කොතරම් යුක්ති සහගතද?

අනෙක් අතට ඔවුන් වරදක් කර ඇත්නම් එවිට ඔවුන්ගේ සිරගත කාලය ඒ වරද ඉක්මවා තවත් කොතරම් කාලයක් දීර්ඝ කළ යුතුද? මෙය කූඩු කළ සතුන් පිළිබඳ ප‍්‍රශ්නයක් නොව මිනිසුන් පිළිබඳ ප‍්‍රශ්නයකි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවේ සිටියදී කරනු ලබන පාපොච්චාරණ මත චෝදනා ගොනු කළ හැක. සාමාන්‍ය නීතියේදී සේයා සදෙව්මි වැනි සිද්ධීන් තුළින් අත්අඩංගුවේ සිටියදී ගන්නා පාපොච්චාරණ පිළිබඳ වලංගු භාවය හොඳින්ම පැහැදිලි විය. අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කළේ පොලිසියේ වධබන්ධන හරහා ලබාගත් පාපොච්ඡුාරණ උපයෝගී කරගෙන බවට හෙළිදරව් විය. සැබැවින්ම පසුගිය යුද සමයේද දේශපාලන සැකකරුවෙක් වධ වේදනා අභියස කුමක් ප‍්‍රකාශ කළද එය ඔහුට එරෙහි චෝදනා නැඟීමට සාක්ෂියක් විය. ප‍්‍රමාණවත් සාක්ෂි නොමැතිව දිනෙන් දින කල් යන අධිකරණ ක‍්‍රියාමාර්ග හරහා සිරගත වූවන් පමණක් නොව ඔවුන්ගෙන් යැපෙන්නන්ගේ ජීවිතද වළපල්ලටම ගෙන යනවා ඇත.

උතුරේ උද්ඝෝෂණ හා සිරකඳවුරුවල මාරාන්තික උපවාස හමුවේ පියවරක් ගන්නට ආණ්ඩුවට සිදු විය. පසුගිය දීපාවලී උත්සවය අභියස සිරකරුවන් 28 දෙනෙක්ට ඇප ලබාදෙන ලදී. එහෙත් ඔවුන් වසරකට වැඩි කලක් දඬුවම් විදි පුද්ගලයන් බව අමතක කළ යුතු නැත. යුදමය වාතාවරණයක් නොතිබූ 2014 වසරේදී එල්ටීටීඊයට සම්බන්ධ බවට සැක කරන තරුණයන් තිදෙනකුට පහරදී මරාදැමූ සිද්ධියක් වාර්තා විය. එසේ පහරදී කළ මරණය සාධාරණිකකරණය කෙරුණේ එල්.ටී.ටී.ඊ.යේ නැවත නැඟිටීමට ගන්නා උත්සාහයක් පිළිබඳ ප‍්‍රචාරය කිරීමෙනි. එම අවස්ථාවේදී ඉහත තමිල් තරුණයන් 28 දෙනා අත්අඩංගුවට ගන්නා ලදී. වසරක් ඉක්මෙද්දීද ඔවුන්ට එරෙහිව කිසිදු චෝදනාවක් ගොනු කර ගත නොහැකි විය. එනිසා ඔවුන්ව ඇප මත නිදහස් කරන ලදී. කිසිදු චෝදනාවක් නොමැතිව වරසකට වැඩි කළක් සිරදඬුවම් ලද ඔවුන් වෙනුවෙන් .තවත් ඇපයක් කුමටද? තමිල් මන්ත‍්‍රීවරුන් පෙනී සිටින්නේ චෝදනා නැති තමිල් සිරකරුවන්ට ඇපදීම වෙනුවෙනි. චෝදනා නැති නම් ඇපදීමක් අවශ්‍ය කුමටද? වසර ගණනක් චෝදනා නොලබා දඬුවම් විඳගත් පසුව හිමිකර දෙන ‘ඇප පිට නිදහස’ කොතරම් සාධාරණද? චෝදනා ගොනු නොකර මෙතරම් කල් සිරගත කොට, ජීවිතය අහිමි කිරීම පිළිබඳ සැබවින්ම ඔවුන්ට වන්දියක් හිමිවිය යුතුය.

ටී.එන්.ඒ. මන්ත‍්‍රීවරුන් සහ රනිල් මෛත‍්‍රී සාකච්ඡුාවල ප‍්‍රතිඵලය වන්නේ සිරකරුවන් පුනරුත්ථාපනයයි. දැනට එල්ල වී ඇති චෝදනා අනුව පුනරුතථාපනය කළ හැකි හා පුනරුත්ථාපනය නොකළ හැකි ලෙස වර්ග කිරීම එයින් සිදු වේ. එහෙත් ඔවුන්ට චෝදනා නැඟූ ආකාරය යුක්ති සහගත දැයි සොයා බැලීමක්ද නැත. එක්කෝ එය වධ දීමෙන් ලද පාපොච්චාරණයක ප‍්‍රතිඵලයකි. චෝදනා ගොනු නොකොට හෝ චෝදනා ඔප්පු නොකොට වසර දහය පහළොව නඩු කල් අදිමින් සිට තවත් කුමන පුනරුත්ථාපනයක්ද? එවැනි පසුබිමක සිදු වන්නේ පුනරුත්ථාපනයක් නොව පළිගැනීමේ ක‍්‍රියාදාමයකි.

දකුණේ යුද්ධයට අතදුන් මිනිසුන් ඝාතනයට මරා දැමීමට, සමූහ මිනී මැරුමට අණදුන් පොලිස් හමුදා ප‍්‍රධානීන්ද උතුරේ එල්.ටී.ටී.ඊ.යට නායකත්වය දුන් අයද කිසිදු ඇපයකින්, පුනරුත්ථාපනයකින්, සිරගත වීමකින් තොරව නිදහසේ සිටී. එසේ නම් මෙම දේශපාලන සිරකරුවන්ට වසර ගණනාවක සිරගත වීමකින් පසුව නිදහස ලබාදිය යුතු නොවන්නේ ඇයි? එය මානුෂික හැඟීමක්, බුද්ධියක් සහිත  ඕනෑම අයකුගේ සිතට නැඟිය යුතු ප‍්‍රශ්නයකි.

කුමුදු පී. මුණසිංහ

Leave a Reply