ගොවීන්ගෙන් වී ගත්තාට රජය සල්ලි ගෙවා නෑ 

rice

යල කන්නයේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගෙන් මිලදී ගත් වී සඳහා ගෙවිය යුතු සියලූ මුදල් තවමත් ගෙවා අවසන් කර නොමැති බවට තොරතුරු වාර්තා වේ.

මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්නෑව, එප්පාවල, මැදවච්චිය යන ප්‍රදේශවල ගොවියන්ගෙන් ලබා ගත් වී මෙට්‍රික් ටොන් හයක පමණ ප්‍රමාණයකට කිසිදු මුදලක් ගෙවා නොමැති බවට ගොවීන් චෝදනා කරයි.

මේ සඳහා මහජන බැංකුවෙන් මුදල් ගෙවිය යුතු වුවත් ඒ සඳහා ආණ්ඩුවෙන් දිස්ත්‍රික්කයේ එම බැංකු ශාඛාවන් සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දී නොමැති බව ආරංචි මාර්ග වාර්තා කරයි.

වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක මාධ්‍ය වලට අදහස් දක්වමින් පැවසුවේ ප්‍රශ්නය බැංකු වලට මුදල් නොලැබීම නොව උපදෙස් නොලැබීම බවය. මේ අතර විල්ගමුව ප්‍රදේශයේ ගොවීන්ගෙන් මිලදී ගත් රුපියල් ලක්ෂ 500 ක් පමණ වටිනා වි කිලෝ ලක්ෂ 10ක් නිසි ලෙස ගබඩා නොකිරීමෙන් ඒවා භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බව ද වාර්තාවිය.

ඊට අදාළ මුදල් ද ගොවීන්ට නිසි ලෙස ගෙවා නැත. වී අලෙවි මණ්ඩලය පවසන්නේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බවය.

වී තොග විනාශ වුනත් ගොවීන්ට මුදල් ගෙවන බව එහි සභාපතිවරයා පවසයි. එහෙත් තවමත් රජය මිලදී ගන්නා වී තොග සඳහා මුදල් ගෙවීම අක්‍රමවත් තත්වයක පවතින බව ජනරළ වාර්තා කරයි.

වජිර තෙන්නකෝන්