චිලියේ ජනතා ගායක වික්ටර් හාරා කෘර ලෙස ඝාතනය කිරීමේ අපරාධයට චෝදනා ලද පිනෝෂේ ඒකාධිපතියාගේ හමුදා නිලධාරියකු එම අපරාධය වෙනුවෙන් ගායකයාගේ බිරියට හා දියණියන්ට ඩොලර් මිලියන 28ක් වන්දි ගෙවිය යුතු බව ෆලොරිඩා අධිකරණයකින් තීන්දු කර ඇත.
විදේශික යුද අපරාධකරුවකුට එරෙහිව එක්සත් ජනපදයේ ඔලන්ඩෝහි අධිකරණයකදී පැවැති ආන්දෝලනාත්මක නඩුවකින් පසුව ලද මේ තීන්දුව වැදගත් මානව හිමිකම් ජයග්‍රහණයක් ලෙස සලකුනු වේ. පේඩ්‍රෝ පැබ්ලෝ බැරියන්ටොස් නූනෙස් නමැති විශ්‍රමික චිලී හමුදා නිලධාරියා චෝදනා ලැබ සිටියේ 1973 සැප්තැම්බර් මාසයේ වික්ටර් හාරා අත්අඩංගුවට ගැනීමෙන් පසුව සන්තියාගේ පාපන්දු පිටියේ තුන් දිනක් තිස්සේ වරින්වර පහර දෙමින් රදවා තබාගෙන පසුව වෙඩි තබා මරා දැමූ බවටය.
වික්ටර් හාරා ඇතුලු කිහිපදෙනකුගේ මලසිරුරු සන්තියාගේ පාපන්දු පිටිය පිටත වීසි කරදමා තිබියදී නාගරික මෘත ශරීරාගාරයට ගෙනැවිත් තිබිණි. ජනතාව වෙනුවෙන් ගී ගැයූ ගායකයාගේ බිරිය ජොආන් ටර්නර් හාරා, කුමන්තණයෙන් දින කීපයකට පසුව සිය සැමියාගේ විකෘති වී ගිය මලසිරුර හදුනාගෙන තිබුනේ මෝචරියේදීය. වෙඩි ප්‍රහාරවලින් නිකුත් ව ඔහුගේ සිරුර දරාගත් උණ්ඩ 44ක් සොයාගනු ලැබිණි.
“එයාගෙ මරණය නිසා මගේ ජිවිතේ දෙකඩ වුණා!“ ඇය ජනමාධ්‍ය හමුවේ කියා සිටියාය. ඔලන්ඩෝ අදිකරණයේ පියගැටපෙළ මතදී කදුළු වගුරවමින් කතා කල 88 හැවිරිදි ජොආන් කීවේ 40 වසරකට වැඩි කාලයක් තිස්සේ වික්ටර් හාරා නම් තම ආදරණීයයා වෙනුවෙන් කළ දේ සඵල වූ බවට සැනසීමක් ඇති වූ බවයි.
“ඒක දීර්ඝ උත්සාහයක්. මම දන්න වික්ටර් හාරාට සමාජ සාධාරණත්වයත් යුක්තියත් එකක් මිස දෙකක් වුනේ නෑ. අදත් එයාගෙ ගීත කලාකරුවන්ට වගේම සමාජ සාධාරණත්වය වෙනුවෙන් සටන් කරන අයටත් විශාල බලපෑමක් කරනවා.“
1970 මහජන ඡන්දයෙන් බලයට පත් සැල්වදෝර් අයන්ඩේගේ නායකත්වයෙන් යුතු චිලියේ සමාජවාදී ආණ්ඩුව පෙරළා දමන්නට ක්‍රියාත්මක වූ CIA කුමන්ත්‍රණයට පසු බලයට පත් ඔගස්ටෝ ෆිනෝෂේ 17ක් වසරක මිලිටරි ආඥාදායකත්වයක් පවත්වාගෙන ගියේය. මෙම කාලය තුල චිලියේ සමාජවාදී ආණ්ඩුවේ නායකයන්, නිලධාරින් හිතවතුන් දහස් ගනනක් මෙසේ වධ බන්ධනවලට ලක් කර මරා දැමූ බවට චෝදනා එල්ල විය. 1973 සැප්තැම්බර් 11 වැනිදා සිදුවූ මෙම හමුදා කුමන්ත්‍රනයේදී ප්‍රතිප්‍රහාර දෙමින් මරණය වැළදගත් හෝ මරා දැමුනු සිය ගණනකට අමතරව සමාජවාදී ක්‍රියාකාරින් ලෙස නගරයේ විවිධ ස්ථානවලදී අත්අඩංගුවට ගත් දහස් ගණනක් ගෙන ඒම නිසා සන්තියාගේ පාපන්දු පිටිය රැදවුම් කදවුරක් බවට පත් විය. විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, ශිෂ්‍යයන්, රාජය නිලධාරින් ආදී විශාල පිරිසක් හමුදා භටයන් විසින් වද බන්ධනයට ලක් කළ බවත් සාක්ෂි ඉතිරි කළ හොත් එම අපරාධවලට වන්දි ගෙවීමට සිදුවිය හැකි නිසා මරණයට පත්වූවන්ගේ සිරුරු ගුවනින් ගෙන ගොස් මුහුදට දැමූහ. කෙසේ වෙතත් පසුකාලයක බලයෙන් පහකරනු ලැබ යුරෝපයට සංක්‍රමණය වූ හමුදා ආඥාදායක ෆිනෝෂේටත් ඔහුගේ අනුගාමික සන්නද්ධ හමුදා නිලධාරින්ටත් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේදී චෝදනා එල්ල විය.
වරදකරු කෙරුනු පේඩ්‍රෝ, 1989දී එක්සත් ජනපදයට පළාගොස් එහිදී නැවත විවාහ වී පුරවැසිකම හිමිකරගත් අයෙකි. යුද අපරාධවලට වගකිවයුතු එවැනි හමුදා නිලධාරින් පිටුවහල් කරන ලෙස සිවු වසරකට පෙර චිලී ආන්ඩුව විසින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන්ට එරෙහිව නීතිමය කටයුතු ආරම්බ කරන ලදී. ඒ අනුව අත්අඩංගුවට පත් චිලී යුද අපරාධ චූදිතයන් එතුරින් එකකු ලෙස පේඩ්‍රෝ, මෙසේ වික්ටර් හාරා පවුලට වන්දි ගෙවිය යුතු බවට තීරණය විය.
වික්ටර් හාරාගේ බ්‍රිතාන්‍ය ජාතික බිරිය, ජොආන් මෙන්ම ඔහුගේ දියණියන් වන අමන්ඩා සහ මනුවෙලා පවසන්නේ තමන් මෙම අධිකරණ කටයුත්තට සහභාගි වූයේ වන්දි මුදලක් හිමිකරගැනීමේ අරමුනින් නොවන බවයි. ඔවුන් විශ්වාස කරනුයේ චිලී හමුදා කුමන්ත්‍රනයට සම්බන්ධ අපරාධකරුවන් චිලියේදී යුක්තිය පිසදලීමේ කටයුතුවලට යොමුකරනු පිනිස පිටුවහල් කිරීමට මෙම තීන්දුව ඉවහල් වනු ඇති බවයි.

ජොආන් හාරා

ඝාතනයේ චෝදනා ලබා සිටින පේඩ්‍රෝ සිය නීතිඥයා සමග

