පියයුරු පිළිකා රෝගීන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ නිර්දේශයන්ගෙන් තොරව ලබා දීමට ගෙනවිත් තිබෙන රුසියාවේ නිෂ්පාදනය කළ “හර්ටිකැඩ්” නැමැති ඖෂධය භාවිතා කිරීම මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 100ක පාඩුවක් සිදුවෙමින් පවතින බව රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් ලක්බිමට පැවැසීය.
මෙම ඖෂධය පිළිකා රෝගීන්ට ලබා දීමට නොහැකි වී ඇත්තේ එම ඖෂධය පිළිබඳව ලෝකයේ කිසිදු රටක නිවැරදි තොරතුරක් නොමැති බවද හෙතෙම පෙන්වාදේ.
යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ නම් එම රට තුළ එම ඖෂධය වසර දෙකක් හෝ භාවිතා කළ යුතුව ඇති නමුත් මෙය වසරක් හෝ එම රටේ භාවිතා කර ඇති බවට අන්තර්ජාලයේ හෝ කිසිදු විස්තරයක් නොමැති බව හෙතෙම පෙන්වාදේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගියදා පැවැති විශේෂ සාකච්ඡාවට සම්බන්ධ වූ මහරගම පිළිකා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය විල්ප්‍රඩ් කුමාරසිරි මහතාගෙන් අප කළ විමසුමකදී ඒ මහතා මෙම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් රුසියාවෙන් ගෙන්වන ඖෂධය තම රෝගීන් සඳහා භාවිතා කරන නමුත් ඇතැම් වෛද්‍යවරුන් එය භාවිතා නොකරන බවත්ය.
කෙසේ නමුත් එම ඖෂධය භාවිතා නොකරන්නේ ඇයිද යන්න හේතු දක්වන ලෙසත් ඉන් අනතුරුව ඔවුන් ඉල්ලා සිටින ඖෂධය ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන බවත්ය.
මෙම සාකච්ඡාවට සම්බන්ධ වූ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය දමයන්ති පීරිස් මහත්මිය සඳහන් කර ඇත්තේ රුසියාවේ නිෂ්පාදනය කර තිබෙන ඖෂධ රෝගීන්ට ලබා දිය නොහැකි බවත් එම ඖෂධයේ නිවැරදි විස්තරයක් දැන ගැනීමට අන්තර්ජාලයේ හෝ විස්තර නොමැති බවත්ය.
මෙම ඖෂධය තරුණ කාන්තාවන්ට ලබා දෙන්නක් බැවින් එය ඔවුන්ට අතුරුආබාධ ඇති වීමට ඉඩ ඇතැයිද මෙහිදී ඇය පෙන්වා දී ඇත.
පියයුරු පිළිකා රෝගීන්ට මතෛක් ලබා දුන් ස්විස්ටර්ලන්තයේ නිෂ්පාදන කළ “ට්‍රස්ටුසුමැබ්” නැමැති ඖෂධය බවත් එහි මිල අධික බැවින් ඒහා සමාන ගුණයකින් යුතු රුසියාවේ නිෂ්පාදන කළ “හර්ටිකැඩ්” ඖෂධය ගෙන ඒමට කටයුතු කළ බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
ඇමැතිවරයා පෙන්වා දෙන්නේ මෙම ඖෂධය රුසියාවෙන් ආනයනය කිරීම හේතුවෙන් විශාල මුදලක් ඉතිරි වන බවත් එසේ ඉතිරි වන මුදලින් අක්ෂි කාච හා හෘද රෝගීන්ට අවශ්‍ය “ස්ටෙන්ත්” නොමිලේ ලබා දීමට කටයුතු කරන බවත්ය.
අප මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලාල් පනාපිටිය මහතාගෙන් විමසු කල ඒ මහතා සඳහන් කළේ මෙම ඖෂය භාවිතා නොකරන වෛද්‍යවරුන් කැඳවා එයට හේතුව විමසා වහාම තමා වෙත වාර්තාවක් ලබා දෙන මෙන් ජාතික ඖෂධ අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා මහතාට දැනුම් දුන් බවකි.
ශ්‍රියානි විජේසිංහ – ලක්බිම