(පුබුදු ජයගොඩ – ෆේස්බුක් සටහනක්)
අද සිරිල් සී. පෙරේරා නම්වූ පරිවර්තකයා, ලේඛකයා, විචාරකයා අපෙන් සමු ගන්නවා. අද සවස කොහුවල කනත්තේදී අවසන් කටයුතු සිදුවීමට නියමිතයි. මේ ඔහුගේ පුතා මළ ගෙදරදී අපට කියූ පොඩි කතාවක්.
1990 දශකය මුලදී ජනතා සාහිත්‍ය උළෙලේදී ලැබුණු සම්මානය පිළිබඳව සිරිල් සී. පෙරේරා මහතා විශාල අභිමානයකින් සිටියාලු. ඔහුට නොයෙකුත් රාජ්‍ය සම්මාන ලැබුනත් ඔහු ආශාවෙන් ආරක්ෂා කරගෙන සිට තිබෙන්නේ ඒ ජනතා සාහිත්‍ය සම්මානය. එම සම්මානය රැස්ව සිටි ජනතාවගේ අතින් අත වේදිකාවට ඇවිත් ජනතාවගේ අතින්ම තමන්ට පිරිනැමුණු ආකාරය ඔහු නිතරම පවසන බව ඔහුගේ පුතා කිව්වා. වරක් මේ ජනතා සම්මානයත්, ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා නාට්‍ය පිටපත පරිවර්තනය කිරීමට ලැබුණු සම්මානයත් කිසිවෙකු විසින් සොරකම් කරලා. පවුලේ අය සොරාව හොයාගෙන. සොරා මේවා සම්මාන බවවත්, මේවායේ හිමිකරුවා ලේඛකයෙකු බවවත් දැන සිට නෑ. සොරාව අල්ලා පොලීසියට ගෙනයන අතර සිරිල් සී. පෙරේරා මහතා ‘මේවා මට ජනතාවගෙන් ලැබුණු ඒවා. මට මේවා කෝටියක් වටිනවා. මම සල්ලි දෙන්නම්, නැවත මේවා ගෙනත් දෙනවා’ කියා සොරාට පවසා තිබෙනවා. සොරකම් කළ තැනැත්තා මේවා ගැන දැනගෙන තිබෙන්නේ ඒ අවස්තාවේදී. කෙසේ වෙතත් පොලීසියට යන අතරතුරදී සොරා මේ අය රවටා පැන ගිහින්.
දින කිහිපයකට පසුව නැතිවූ සම්මාන දෙකින් එකක්, ජනතා සාහිත්‍ය සම්මානය නිවෙස අසල ගෙනැවිත් දමා තිබුනාලු. ඒ සමග සොරකම් කළ තැනැත්තාගේ ලිපියකුත් තිබිලා. ‘මට නැවත සොයාගත හැකි වුයේ මෙය පමණයි. මේවා මෙතරම් ඔබට වටිනා බව මම දන්නේ නෑ. මම සොරකම් කළේ දුප්පත්කම නිසා. මට සමාවෙන්න’ ඒ ලිපියේ එසේ සඳහන් කර තිබුනාලු.
දුප්පත්කම නිසා සොරකම් කිරීමට සිදුවූ පුද්ගලයාගේ මානව ගුණයන් පිළිබඳව සිරිල් සී. පෙරේරා මහතා දිගටම කතා කළ බව පවුලේ හිතවතුන් පවසනවා.
ඔහු මානව දයාවෙන් පිරුණු මිනිසෙකු බව මීට වසර දහයකට පමණ පෙර ඔහු හමුවී ඇති අවස්ථා දෙක තුනේදී මටත් හැඟුණා. මිනිසෙකුගේ දක්ෂතා, නිපුනතා, සමාජ කීර්තිය ඉක්මවා අපව ඔහුට හෝ ඇයට ආකර්ෂණය කරවන්නේ ඒ පුද්ගලයා සතු මානවීය ගුණයන්. එවැනි අය ගැන සමුගැනීමේ සටහන් මෙතරම් ලිවීමට සිදුවීම කණගාටුවක්.