පොලිස් අත්අඩංගුවේදී අතුරුදන් වූ තරුණයා ගැන තවම තොරතුරක් නෑ
Posted on 09.12.2016 by Janaka Thushara in දේශීය පුවත් with 0 Comments
හම්බන්තොට පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවේ සිටියදී අතුරුදන් වූ ජී.පී. ගයාෂාන් නමැති 20 හැවිරිදි තරුණයා පිළිබඳව මේ දක්වා තොරතුරක් ලැබී නැත. වී මළු කිහිපයක් සොරකම් කිරීමේ චෝදනාව මත මෙම තරුණයා හම්බන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අතුරුදන් වී ඇත්තේ බඳගිරිය ප්‍රදේශයේ තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොමිසම වාර්තාවක් කැඳවා ඇති අතර හම්බන්තොට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස් දෙනකුට තාවකාලික ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව පොලිසිය පවසයි.
කෙසේ වුවත් පොලිස් අත්අඩංගුවේදී අතුරුදන් වී දින හතක් ගත වී ඇතත් එම තරුණයා ගැන මේ දක්වා කිසිදු තොරතුරක් පොලිසිය සොයා ගෙන නැත.
ගයාෂාන් අත්අඩංගුවට ගැනීමේදී පලා ගිය බව හම්බන්තොට පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසුවත් ඔහු සමග අත්අඩංගුවට ගත් තවත් තරුණයකු පවසන්නේ ගයාෂාන් තමන් සමග පොලිස් සිර මැදිරියේ සිටි බවයි. ඔහු තමන්ට බඩේ අමාරුවක් ඇති බවත් වැසිකිලියට යාමට අවශ්‍ය බවත් පොලිස් නිලධාරීන්ට පැවසූ බව පවසන එම තරුණයා වැසිකිලියට ගිය ගයාෂාන් ගැන ඉන් පසුව තොරතුරක් නැතැයිද පවසයි. එම වැසිකිලියට තමන්ද ගිය බවත් එහි පලා යාමට කිසිදු ස්ථානයක් නැති බවත් ඒ නිසා ඔහුට කුමක් වූ සිදු වී තිබෙන්නේ පොලිස් ස්ථානය තුළදී බවත් ඔහු වැඩිදුරටත් අනාවරණය කරයි.
එම තරුණයාටද පොලිසිය බරපතළ ලෙස පහර දී සපත්තුවලින් පාගා තිබේ. එම පහරදීමට සම්බන්ධ ප්‍රේමරත්න නමැති හම්බන්තොට පොලිසියේ නිලධාරියා ඔහුට සොරකමේ වගකීම බාර ගන්නා ලෙස බල කර ඇත. ප්‍රේමරත්න නමැති එම නිලධාරියාගේ පුතාද සොරකම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව තිබේ.